ලෝක ඉතිහාසය යනු අන් කිසිවක් නොව ශ්‍රේෂ්ට මිනිසුන්ගේ චරිතාපදානයයි ෴ The history of the world is nothing but the biography of great men

Friday, April 15, 2016

පරමාදර්ශී පාලනයක් පිලිබඳ විශ්වාස කළ සොක්‍රටීස් | (ක්‍රි. පූ. 469-399)

ඇතන්ස් හි උපත ලත් සොක්‍රටීස්, අද බටහිර දර්ශනවාදයේ ප්‍රාරම්භක පියවරුන් වශයෙන් සළකනු ලබන, ග්‍රීසියේ පහළ වූ අනුක්‍රමික මහා දාර්ශනිකයන් තිදෙනාගෙන් පළමුවැන්නා විය. ඔහු ගේ ශිෂ්‍යයකු වූ ප්ලේටෝ පසු ව ඇරිස්ටෝටල් ගේ ගුරුවරයා විය.

මනුෂ්‍යයකු ජීවත් විය යුත්තේ යම් අරමුණක් උදෙසා යයි හෙතෙම විශ්වාස කෙළේ ය. කෙනකු තමා ජීවත් වන වටපිටාව හා අවශේෂ පුද්ගලයන් සමඟ පවත්වන සම්බන්ධතාවය අර්ථකතනය කිරීමේ දී ‘හොඳ සහ නරක’ ඉතා වැදගත් ව බලපාන බව ඔහු විශ්වාස කළේ ය. දේශකයකු වශයෙන් ඔහු තුළ තුබූ බුද්ධි ප්‍රතිභාව මෙන් ම උපහාස රසය ද අනුස්මරණීය වේ. සොක්‍රටීස් පිලිබඳ ව අප දන්නා කරුණු බොහොමයක් අඩංගු වන්නේ ප්ලේටෝ ගේ ‘ඩයලොග්ස්’ නම් කෘතියෙනි. ප්ලේටෝ සහ සොක්‍රටීස් අතර දර්ශනවාදය පිලිබඳ ව ඇති වූ සාකච්ඡා පිලිබඳ ව එහි වාර්තා ගත කොට ඇත. සදාචාරය, ස්වඅවබෝධයෙන් ඇති වන්නක් බවත්, මනුෂ්‍යයා ස්වභාවයෙන් ම අවංක බවත්, පාපය යනු සිය ස්වභාවය දියුණු කරන්නට ගන්නා නොමඟ ගිය උත්සාහයක් බවත් ඔහු විශ්වාස කළේ ය. ඔහු ගේ ප්‍රධාන ආප්තෝපදේශය වූයේ ‘තමන් අවබෝධ කරගන්න’ යන්න යි.

සොක්‍රටීස් විසින් පිලිගන්නා ලද පරිදි පරමාදර්ශී ආණ්ඩුවක් යනු නිසියාකාර ව සූදානම් කරන ලද ප්‍රඥාවන්ත පුද්ගලයන්ගෙන් සමන්විත සමාජයේ යහපත සඳහා කැප වූ පාලනයකි. ‘විද්‍යාත්මක ක්‍රමය’ වර්ධනය කිරීම සඳහා මග හෙළි කළ පරිසරය පිලිබඳ ස්වභාවික සමතුළිතතාවය පිලිබඳ විධිමත් අදහස් රෝපණය කළ පුරෝගාමියකු වශයෙන් ද හෙතෙම සිහි කරනු ලබයි.

ඔහු ස්වාභාවික ලෝකයට පිටුපසින් ඇති තනි, ඒකීය හා ශ්‍රේෂ්ට බලවේගයක් පිලිබඳ අදහස විශ්වාස කෙළේ ය. මෙය සාම්ප්‍රදායික බහු දේවවාදී විශ්වාසයට පටහැනි එකක් වූ අතර, ඇතන්ස් හි තරුණයින් නොමග යැවීමේ චෝදනාව මත සිරභාරයට ගැනීම සඳහා ඔහු ගේ මෙම න්‍යාය හේතුවක් විය. ප්ලේටෝ ගේ ‘ඇපලොජි’ කෘතියෙහි ඔහු ගේ නඩු විභාගය පිලිබඳ ව ද, ‘ෆේඩෝ’ කෘතියෙහි ඔහු සිරගත ව සිටිය දී ශිෂ්‍යයන් සමග පැවැත් වූ සාකච්ඡා පිලිබඳ ව ද විස්තර සඳහන් වේ. සොක්‍රටීස් වරදකරු කළ නඩු තීන්දුවෙන් අනතුරු ව ඔහුට හෙම්ලොක් නම් විෂ වර්ගය පානය කිරීමෙන් දිවි නසා ගැනීමට සලස්වන ලදි. සොක්‍රටීස් ගේ ස්වතන්ත්‍ර ලේඛනයන් දුර්ලභ වුවත් ප්ලේටෝ හා ක්සෙනෝෆොන් (ක්‍රි. පූ. 430-357) ගේ කෘතීන් තුළ ඔහු ගේ ජීවිතය ද දර්ශනය ද ජීවමාන ව පවතී. 

සොක්‍රටීස්ගේ මරණ මංචකය

Wednesday, July 1, 2015

ලෝක ඉතිහාසය නිර්මාණය කළ හිරොඩොටස් | (ක්‍රි. පූ. 485-425 )

පුද්ගලයන් රාශියක් විසින් ලෝක ඉතිහාසය හැඩ ගැස් වූ බව පවසන්නේ නම් එය නිර්මාණය කරන ලද්දේ එක් පුද්ගලයකු විසිනැයි කිව හැකිය. ඉතිහාසය හා එහි මූලික සන්ධිස්ථානයන් වාර්තා ගත කිරීමට හා අගැයීමට නූතන බටහිර ලෝකය විසින් භාවිතා කරන ක්‍රමවේදය වර්ධනය කළේ හිරොඩොටස් ය. චූල ආසියාවේ හැලිකානාසස් හි උපන් හිරොඩොටස් එවක සිටි දුෂ්ට පාලකයකු වූ ලිග්ඩාමිස්ට විරුද්ධ ව කළ විප්ලවයේ දී ප්‍රධාන භූමිකාවක් දැරූ අතර පසු ව ඇතන්ස් වෙත සංක්‍රමණය වූයේ ය. ඔහු තත්කාලීන ඉතිහාසය - විශේෂයෙන්ම ග්‍රීසිය හා පර්සියාව අතර පැවති යුද්ධ පිලිබඳ ව - හා ඊට පෙරකාලීන සිදු වීම් පිලිබඳ ව ක්‍රමානුකූල ව වාර්තාගත කිරීම ආරම්භ කළේ මෙහි දී ය. කාලීන සිදුවීම් පිලිබඳ ව මීට පෙර ද යම් යම් පුද්ගලයන් විසින් වාර්තා කොට ඇතත් ක්‍රමික ව හා විෂය මූලික ව ඓතිහාසික සිදුවීම් වල පැවති අන්තර් සම්බන්ධතාවය අධ්‍යයනය කිරීමට තැත් කළ පළමුවැන්නා ලෙස  හිරොඩොටස් සැලකේ. ඉතිහාසයේ පියා වශයෙන් සැලකෙන හිරොඩොටස් ඊජිප්තුව හා මධ්‍යධරණී කලාපය පුරා සංචාරය කළ අතර එහි දී ස්වකීය මෙන් ම විජාතික සංස්කෘතීන් ද හදාරමින් හැකි උපරිම විශ්වසනීයත්වයෙන් යුතු ව තොරතුරු වාර්තාගත කළේ ය. ඉතිහාසය සිද්ධාන්තකරණයේ දී ඔහු එ වකට ග්‍රීසියේ පැවති සාම්ප්‍රදායික “ස්වර්ණමය මධ්‍යම ප්‍රතිපදාව” යන සංකල්පය භාවිතා කළේ ය. මින් සංකේතවත් වූයේ මධ්‍යස්ථ හා සමබරතාවයේ ඇති යෝග්‍ය භාවය හා පක්‍ෂග්‍රාහී හා අසමබරතාවයේ ඇති විනාශකාරී බව යි. මෙම සිද්ධාන්තයට අනුව ප්‍රකෝපකාරී සර්ක්සෙස් ගේ දෛවොපගත විනාශකාරී පරාජය නොවැළැක්විය හැක්කක් විය.

සිය ජීවිතයේ සැඳෑ සමයේ දී 
හිරොඩොටස් ඉතාලියේ තූරි යන ග්‍රීක ජනාවාසය බිහි කිරීමට දායක වූ අතර ඔහු මිය ගියේ ද එහි දී බව අනුමාන කැරේ.



Wednesday, April 15, 2015

පෙරික්ලීස් | ග්‍රීසිය (ක්‍රි. පූ. 429)

පෙරික්ලීස්
කුළීන පවුලක උපත ලත් පෙරික්ලීස් තුළ මහජනතාව ඇමතීමේ ප්‍රබල සහජ හැකියාවක් තිබුණි. ක්‍රි. පූ. 469 දී ප්‍රජාතන්ත්‍රවාදය නියෝජනය කරමින් දේශපාලනයට අවතීර්ණ වූ ඔහු සිය තරඟ කරු වන තුසීඩිඩ්ස් (ක්‍රි. පූ. 460-400) පරාජය කර ග්‍රීසියේ බලවත් ම නගර-රාජ්‍යය වූ ඇතන්ස් හි පාලකයා බවට පත් වූයේය. සිය රාජ්‍යය ශ්‍රී විභූතියේ උච්චතම ස්ථානය කරා ගෙන යාමට ඔහුට හැකි විය.

පෙරික්ලීස් පුරාතනයේ සිටි ශ්‍රේෂ්ටතම ව්‍යවස්ථාපිත රාජ්‍ය තාන්ත්‍රිකයා වශයෙන් සැලකෙන අතර ඔහු ලබා ගත් ජයග්‍රහණ මාලාව සිත් අලවන සුලු ය. ඔහු ඇතන්ස් හි බල සේනා ලෝකයේ බලවත් ම හමුදාවන්ගෙන් එකක් බවට පත් කළ අතර ඩෙල්පි ආක්‍රමණය, ඉයුබා සහ සමෝස් හි කැරළි මර්දනය ඇතුළු සටන් රාශියකට නායකත්වය දුන්නේ ය. ඔහු පාර්තිනෝන් ඇතුලු විශිෂ්ට ගොඩනැගිලි නිර්මාණ රාශියකින් ඇතන්ස් නගරය විභූතිමත් කළේ ය. ඕනෑ ම අයකුට රජයේ තනතුරක් දැරිය හැකි පරිදි සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් ස්ථාපනය කරන ලද අතර පරිපාලන නිලධාරීන්ට වැටුප් ක්‍රමයක් ද දිලිඳුන් සඳහා සහන දීමනාවක් ද ලබා දෙන ලදි.

පෙරික්ලීස් ගේ ප්‍රියාව වූ මිලටස් හි ඇස්පේසියා (ක්‍රි. පූ. 470-410) සිය රූප සෞන්දර්ය මෙන් ම තීක්‍ෂණ දේශපාලන ඥානය නිසා ප්‍රසිද්ධ වූවා ය. ඇය ශ්‍රේෂ්ට දර්ශනවාදියකු වූ සොක්‍රටීස් (ක්‍රි. පූ. 469-399) ගේ අනුග්‍රාහිකාවක් වූ අතර පෙරික්ලීස් ගේ පාලනයේ දී අගනා සහකාරියක් වූවා ය. පෙරික්ලීස් ඇය ගෙන් ලත් සුළු පටු නො වූ බලපෑමට පින් සිදුවන්නට ඇතන්ස් එහි ස්වර්ණමය යුගයට එළැඹුණ අතර නැගෙනහිර මධ්‍යධරණී කලාපයේ කලා හා සංස්කෘතික කේන්ද්‍රස්ථානය බවට පත් විය.

ඇතන්ස්හි මෙම පිබිදීමට තවත් හේතුවක් වූයේ සිය එදිරිවාදී නගර රාජ්‍යයක් වූ ස්පාටා ප්‍රධාන කොට ගත් පෙලොපොනේසියන් රාජ්‍ය සන්ධානය සමග ක්‍රි. පූ. 445 දී ඔවුන් ඇති කර ගත් සාම ගිවිසුම යි. කෙ සේ වුවත් ක්‍රි. පූ. 431 දී ස්පාටාව විසින් මෙම ගිවිසුම කඩ කරමින් ආරම්භ කළ ගැටුම දශක තුනක් ඔස්සේ විහිදුණු පොලෙපනේසියන් යුද්ධය බවට පත් විය. අනතුරු ව ඇතන්ස් රාජ්‍යයට පෙරික්ලීස් යටතේ පැවති එම ශ්‍රී විභූතිය යළි කිසි දිනෙක අත් කැර ගත නො හැකි විය.

ඇස්පෙසියා


පාර්තිනොන්

Saturday, April 4, 2015

සර්ක්සෙස් I | පර්සියාව (ක්‍රි. පූ. 519 - 465)


 සර්ක්සෙස් I
ක්‍රි. පූ. 6 වන සියවසේදී මහා සයිරස් රජු පර්සියන් අධිරාජ්‍යය ගොඩ නැංවූ අතර ක්‍රි. පූ. 521 දී සිහසුනට පත් ඔහු ගේ මුණුබුරු ඩේරියස් (ක්‍රි. පූ. 558-486) පර්සියන් බලය ඊජිප්තුව පුරා විහිදුවමින් ෆිනීෂියානු බළ ඇණි ද තම සේනාවට එක්කර ගත්තේ ය. ඔහු ගේ ඊ ළඟ ඉලක්කය වූයේ ග්‍රීසියේ නගර-රාජ්‍යයන් අතර පැවති භේද භින්නතාවය ප්‍රයෝජනයට ගෙන එ රට ජය ගැන්ම යි. එහෙත් ඩේරියස් ගේ ප්‍රහාරයන්ට එරෙහි ව සියලු වාද භේදයන් අමතක කර එක්සත් වූ එම රාජ්‍යයන් විසින් ඔහු ගේ හමුදාව පලවා හරින ලදි. පර්සියානු හමුදාවන්ට වඩා සංඛ්‍යාවෙන් අඩු වුවත් මනා පුහුණුවක් ලබා තිබූ ග්‍රීක හමුදාව ක්‍රි. පූ. 490 දී ‘මැරතන් හි මහ සටනින්’ පර්සියන් හමුදාව පරාජය කෙළේ ය.

ඊට දස වසකට පසු එ නම් ක්‍රි. පූ. 480 දී ඩේරියස් ගේ වැඩි මහල් පුත් සර්ක්සෙස් I, වඩා විශාල හමුදාවක් සංවිධානය කොට නාවික හමුදා ඒකකයන් ද සහාය කරගෙන මිලියන 2.5 ක බල සේනා සහිත ව ග්‍රීසිය බලා ගමන් කළේ ය. ඔහු ස්පාටා හි රජු වන ලෙනිඩාස්, තර්මොපයිලෙ යන ස්ථානයේ දී සම්පුර්ණයෙන් යටත් කර ගෙන ග්‍රීක හද බිම බලා පිටත් විය. එහෙත් ක්‍රි. පූ. 480 සැප්තැම්බර් 23 වන දා උපායශීලී ව පර්සියන් හමුදා සලාමිස් නම් දූපත අසළ පටු සමුද්‍ර සන්ධියකට කොටු කරගත් ග්‍රීකයෝ ඔවුන් පරදවා විනාශ කර දැමූ හ. ශීත සෘතුව තුළ නැවතත් හමුදාව රැස් කළ සර්ක්සෙස් ආපසු පැමිණ ප්ලාටේ මිටියාවතේ දී ග්‍රීකයන් හා සටන් වැදුණේ ය. මැරතන් හා සලාමිස් හිදී සිදු වූවාක් මෙන් නැවත වරක් සංඛ්‍යාවෙන් අඩු වුවත් ග්‍රීක හමුදාව විසින් විශාල හා බල සම්පන්න පර්සියන් හමුදාව පරාජය කරන ලදි. සර්ක්සෙස් ක්‍රි. පූ. 465 දී මරා දමන ලද අතර ඔහු ගේ පුත් ආටසර්ක්සෙස් ඉන් පසු ව රාජ්‍යයට පත් වුවත් ඔහු ගේ පියා ගේ රාජ්‍ය සමයේ පැවති ශ්‍රී විභූතිය ළඟා කර ගැනීමට ඔහුට නොහැකි විය.

සර්ක්සෙස් ප්ලාටේ වල දී ලබා ගත් පරාජය, පර්සියානු අධිරාජ්‍යයේ බිඳ වැටීමේ ආරම්භය සනිටුහන් කෙළේ ය. තව දුරටත් ව්‍යාප්ත නො වූ එය අභ්‍යන්තර වශයෙන් බිඳ වැටීමට පටන් ගත් අතර ඊ ළඟ ශත වර්ෂය වන විට මහා ඇලෙක්සැන්ඩර් ප්‍රමුඛ ග්‍රීක හමුදාවට පහසුවෙන් යටත් කර ගත හැකි බවට පත් ව තිබුණේ ය.

එවකට කිසිවකු විසින් අනුමාන නො කළ ද, ප්ලාටේහි සටනින් උච්ච අවස්ථාවට පත් එම සංග්‍රාම ව්‍යාපාරය ලෝක ඉතිහාසයේ අතිශය වැදගත් සන්ධි ස්ථානයක් විය. යම් හෙයකින් සර්ක්සෙස් ජයග්‍රහණය කෙළේ නම්, ග්‍රීසිය පර්සියානු බලපෑමට ලක් විය හැකි ව තිබූ අතර නූතන බටහිර චින්තනයේ මූලික පදනම බවට ග්‍රීක නොව පර්සියන් සාහිත්‍යය පත් විය හැකි ව තිබුණි.

තර්මොපයිලෙ මහ සටන 
  

Sunday, October 6, 2013

පෙරදිග විශිෂ්ට දර්ශනයක් බිහි කළ කොන්ෆියුසියස් | චීනය (ක්‍රි. පූ. 551 – 479)

 කුන් ෆු-ත්සු (කොන්ෆියුසියස්) තුමා
චීනයේ ශ්‍රේෂ්ටතම දාර්ශනිකයා වශයෙන් අද සලකනු ලබන කුන් ෆු-ත්සු (කොන්ෆියුසියස්) තුමා උපත ලද්දේ වර්තමානයේ ෂැන්ටුන් නමින් හඳුන්වනු ලබන පළාතේ ය. තරුණ අවදියේ දී ඉතිහාසය සහ පුරාවිද්‍යාව හැදාරූ ඔහු වරක් එවකට හොනාන් පළාතේ රාජ්‍ය ලේඛනාරක්ෂක නිලධාරි වශයෙන් කටයුතු කළ ලාඕ ත්සු හමුවීමට ද ගිය බව කියවේ. ලාඕ-ත්සු හා තාඕ වාදයෙන් ආභාසය ලැබුව ද, ඔහු ඉන් බැහැර ව ගොස් වෙනත් විකල්ප මාර්ගයක් අනුගමනය කිරීමට තීරණය කෙළේ ය. එහි ඉලක්කය වූයේ ශිෂ්ට සම්පන්න හා විද්වත් සත්පුරුෂයකු බිහි කිරීම යි. දාර්ශනිකව ගත් කල එතුමා හින්දුන් හෝ තාඕ වාදීන් තරම් නැවත ඉපදීම ගැන සැලකිල්ලක් නො දැක්වී ය. එ තුමා ගේ මූලික අවධානය යොමු වූයේ පවුල තුළ හෝ සමාජය තුළ වෙසෙන තනි පුද්ගලයන් අතර සමගි සම්පන්න සහ-සම්බන්ධතාවයන් පවත්වා ගැනීම කෙරෙහි ය.

රාජසභාවේ දාර්ශනිකයා වශයෙන් කටයුතු කළ කොන්ෆියුසියස්, චීනයේ පාලකයන්ට අවවාද අනුශාසනා කළේඅභ්‍යන්තර සද්භාවයෙන් නායකත්වය සැපයීම තුළින් තම යටත් වැසියන් ගේ ගෞරවය දිනා ගැනීමට හා ආදර්ශවත් වීම හා එම ආදර්ශ පිලිපැදීම තුළින්ම තමන් හසුරුවා ගන්නට රටවැසියන්ට ඉඩ සැලසීම යි. එ තුමා පාලකයන් සුළඟට සමාන කළේ ය. පිටියක තිබෙන තණකොළ මතට සුළඟින් යෙදැවෙන බලපෑම මෙන් පාලකයන් ද තම යටත් වැසියන් වෙත මෘදු ලෙස බලපෑම් ඇති කළ යුතු බව ඔහු ගේ අදහස විය.

කොන්ෆියුසියස් කෘති
ඉතිහාස ලේඛකයකු වශයෙන් හෙතෙම කාව්‍ය, කථාන්තර හා පුරා වෘත්ත එකතු කර පොත් පෙළක් වශයෙන් සකස් කළ අතර ඒවා අදත් චීන සාහිත්‍යයේ සම්භාවනීය කෘතීන් ලෙස සැළකේ. ඒවා අතර, Book of Odes, The Book of Tradition, The Book of Rites සහ The Book of Changes (I Ching) වේ.

එ තුමා ගේ අභාවයෙන් පසු ඔහු ගේ කෘතීන් විශාල වශයෙන් කියවීමට බඳුන් වූ අතර එ මගින් ලද ආභාසය ද අති විශාල ය. අවසානයේ යුරෝපයට ද පැතිර ගිය එම කෘතීන් ඔහු ගේ ලතින් කරණයට ලක් වූ නම වන කොන්ෆියුසියස් නමින් ප්‍රකාශයට පත් කැරිණ.

I Ching
ආගමක් වශයෙන් කොන්ෆියුසියස් වාදය අද දශ ලක්‍ෂ 5 ක් පමණ ජනතාව විසින් අදහනු ලබන අතර ඉන් බොහොමයක් ආසියානුවෝ වෙති. ආගමකට වඩා ආචාර ධර්ම පද්ධතියක් ලෙස සැළකිය හැකි වුව ද ලෝකයේ මෙම ඇදහීම පිලි ගනු ලබන බැතිමතුන් සංඛ්‍යාව සලකන කළ ඊට හිමි වන්නේ 6 වන ස්ථානය යි. කොන්ෆියුසියානු වාදයේ ප්‍රධාන ප්‍රතිපත්තීන් අතර, ත්‍යාගශීලී බව, ආචාරශීලීත්වය හා ප්‍රඥාව මුල් කොට ගත් විශ්ව සදාචාර ධර්මයන් ද, දෙගුරුන් පිදීම, විශ්වාසවන්ත භාවය, අවංකකම, යහ වාසය, සෞභාග්‍යය, ගෞරවය, දැහැමි බව හා ලජ්ජාව යන 8 වැදෑරුම් පුරුෂාර්ථයන් ද වෙති

Wednesday, February 22, 2012

පර්සියානු අධිරාජ්‍යය නිර්මාණය කළ මහා සයිරස් | Cyrus the Great | පර්සියාව (ක්‍රි. පූ. 558-528)

මහා සයිරස්
ඉතිහාසය පුරා පැවති මහා අධිරාජ්‍යයන් බොහෝ විට වැදගත් වන්නේ ඒවායෙන් සිදු වූ දේශපාලනික බලපෑම් වලට වඩා ඒවායෙන් උරුම වූ සංස්කෘතික අභාසයන් නිසා ය. හැම විට ම අධිරාජ්‍යයක පවත්නා දේශපාලන බලය යම් කාලයකට පසු බිඳ වැටේ. එහෙත් එයින් ඇති වන භාෂාව, කලාව, සංස්කෘතිය, චාරිත්‍ර වාරිත්‍ර පිලිබඳ ආභාසයන් ශත වර්ෂ ගණනාවක් පුරා නොනැසී පවතී.

මහා සයිරස් විසින් නිර්මාණය කරන ලද පර්සියානු අධිරාජ්‍යය, ඉතිහාසය පුරා බිහි වූ ආදීතම ශ්‍රේෂ්ට අධිරාජ්‍යයන් අතරට ගැනෙන අතර, එය නිරිතදිග ආසියාවේ හා නැගෙනහිර මධ්‍යධරණී ප්‍රදේශයේ ඇති වූ වැදගත් ම අධිරාජ්‍යයන්ගෙන් එකකි. ඔහු පර්සියානු රදළ වංශිකයකු වන කැම්බිසස් ගේ සහ මීඩියා හි රජ වූ ඇස්ට්යේජස් ගේ දියණිය වූ මැන්ඩේන් කුමරිය ගේ පුත්‍රයා විය. ජනප්‍රවාදයට අනුව ඇස්ට්යේජස් රජු සිය මුනුපුරා මුළු ආසියාවේ ම පාලකයා වන බවට සිහිනෙන් දුටුවේ ය. එ බැවින් සයිරස් කුඩා කාලයේ ම මරා දැමීමට ඔහු තැත් කළේ ය. එහෙත් ඉන් ගැලවුණු සයිරස් තරුණ වයසට පැමිණ සිය මුත්තණුවන් හා සටන් කොට පරදවා ලූයේ ඔහු දුටු සිහිනය සැබෑ කරමිනි. ලිඩියන් අධිරාජ්‍යය යටත් කළ සයිරස් බැබිලෝනියාව ජය ගත්තේය. චූල ආසියාවේ වූ ග්‍රීක නගර සියල්ල අල්ලා ගත්තේ ය. බයිබලයේ සඳහන්කර ඇති අන්දමට (II Chronicles 36:22-23 හා Ezra1:1-4) ඔහු පර්සියාවේ සිර කර ගෙන සිටි හීබ්‍රෑ ජනතාව නිදහස් කෙළේ ය.

"සයිරස්ගේ හිස ටොමිරිස් රැජින වෙත ගෙන ඒම" සිතුවම
සයිරස් අධිරාජ්‍යයා ගේ මරණය සිදු වන විට, නූතන ඇෆ්ඝනිස්ථානයේ හින්දුකුෂ් කඳු වැටියේ සිට ඉන්දු ගංගාව හා මධ්‍යධරණියේ වෙරළ දක්වා පැතිරුණ අධිරාජ්‍යයක් නිර්මාණය වී තිබිණ. ඔහු ගේ අනුප්‍රාප්තිකයින් ග්‍රීකයන් සමඟ ලෝක ඉතිහාසය වෙනස් කළ තරඟයකට මුහුණ දුන්නේ මෙම මධ්‍යධරණී ප්‍රදේශයේ දී ය.

සයිරස් ගේ ජයග්‍රණයන් තුළින් පර්සියාවේ පැවති සරු සාර සංස්කෘතිය එ කල සංවර්ධිත ව පැවති රටවල් බොහොමයකට පැතිර ගියේ ය. සිතියන් මාස්ගෙටේට එරෙහි ව මෙහෙය වූ අවසාන සටනේ දී සයිරස් ගේ හමුදාවන් පරාජයට පත් වූ අතර එහි දී ඔහු මැරුම් කෑවේ ය. සයිරස් ගේ අවසාන පරාජය සුප්‍රකට බරොක් සිත්තරකු වූ පීටර් පෝල් රියුබන් (1577-1640) විසින් සයිරස්ගේ හිස ටොමිරිස් රැජින වෙත ගෙන ඒම යන සිතුවමින් අමරණීයත්වයට පත් කළේ ය.

සයිරස්ගේ සොහොන් කොත

Tuesday, February 21, 2012

සංසාර චක්‍රය බිඳ හෙලීමේ මග සොයා ගත් ගෞතම බුදුන් වහන්සේ | ඉන්දියාව (ක්‍රි. පූ. 563 - 483)

ලෝකයේ විශාල ශ්‍රාවකයන් රැසක් සිටින ඉතා සංවිධානය වූ ආගම් අතුරින් යුදෙව් සහ හින්දු ආගම් දෙකෙහි මූලයන් බොහෝ ඈත අතීතයට දිවෙන අතර ඒවායේ ශාස්තෘවරුන් පිලිබඳව නිශ්චිතව දැනගන්නට නැත. අනෙක් ආගම් තුන එනම් බුද්ධාගම, ක්‍රිස්තියානිය, සහ ඉස්ලාම් ආගම නිර්මාණය කරන ලද්දේ ඓතිහාසික යුගයන්හි විසූ නිශ්චිත ශාස්තෘවරුන් විසිනි. බුදුදහමෙහි නිර්මාතෘවරයාණන් වූ සිද්ධාර්ථ ගෞතමයෝ උතුරු ඉන්දියාවේ කපිලවස්තු නගරයේ ක්ෂත්‍රිය හෙවත් රණකාමී වංශයට අයත් ධනවත් රජෙක් වූ ශුද්ධෝදන රජතුමාට පුත්ව උපන් හ. සිද්ධාර්ථ කුමරු කුඩා අවදියේ පටන් ම දර්ශනවාදය සහ හින්දු ආගමේ මූලික කරුණු ඇතුළත් වේද සාහිත්‍ය කෙරෙහි උනන්දුවක් දැක් වූ හ. මූලික වශයෙන් උන්වහන්සේ පැවැත්මේ දුක්ඛිත භාවය පිලිබඳව සැලකිල්ලක් දැක් වූ හ. කෙසේ වුවත්, පසුකාලීන ව උන්වහන්සේ තුළ හින්දු ආගම කෙරෙහි තිබුණු උනන්දුව නැතිවී ගියේ ය. තමා අවට පැවති වේදනා සමුදාය කෙරෙහි කළ කිරුණ හ.

අවසානයේදී උන් වහන්සේ ලෞකික වේදනාවන්ගෙන් ශරීරය නොව ආධ්‍යාත්මය ගලවා ගැනීම සඳහා විකල්ප දර්ශනයක් සොයා ගැනීමට තීරණය කළ හ. වයස 29 වන විට එතුමන්ට අභිනිෂ්ක්‍රමණය කිරීමට සිත් පහළ වී සිය බිරිඳ දරුවා සහ අන් සියලු ලෞකික සැප හැරදා රජ මාලිගයෙන් පිට වී සත්‍ය ගවේශණය සඳහා නික්ම ගිය හ. ශාස්තෲවරයින් රාශියක් වෙත ගොස් ඔවුන් ගේ දර්ශනයන් අධ්‍යයනය කළ උන්වහන්සේ ශරීරයට දුක් දෙමින්, උපවාස කරමින් භාවනා කරමින් වසර ගණනාවක් ගත කළ හ. එ තුමන් ගේ අරමුණ වූයේ සියලු ලෞකික ආශාවන් නැති කර සම්පූර්ණ චිත්ත පාලනයක් ඇතිකර ගැනීම ය.

අවසානයේ තමා සොයමින් සිටි සත්‍ය අවබෝධ කර ගැනීමට උන්වහන්සේ සමත් වූයේ ක්‍රි. පූ. 528 වෙසක් දින රාත්‍රියේ බෝ රුකක් යට දී සියලු අවබෝධය ඇති ව බුද්ධත්වයට පත් වීමෙනි. එම මොහොතේ දී සැනෙකින් උන්වහන්සේ දුක නැති කරන මාර්ගය අවබෝධ කරගත් හ. හින්දු ආගමේ මූලික ධර්මය වූයේ පුනරුත්පත්තිය යි. ඒ අනුව ජීවත් වන සෑම ප්‍රාණියකු ම මරණයෙන් පසු වෙනත් ප්‍රාණියකු වශයෙන් උපත ලබ යි. මෙම චක්‍රය සදාකාලික ව, අඛණ්ඩ ව ක්‍රියාත්මක වෙයි. සත්වයකු ගේ ආත්මය කුඩා කෘමියකු ගේ සිට විශාල සිවුපාවකු හෝ මනුෂ්‍යයකු දක්වා කෙමෙන් පරිණාමය වෙයි. යම් මනුෂ්‍යයෙක් ජීවිත කාලය තුළ පව් කර ඇත් නම්, ඔහු නැවත උපදින්නේ පහත් ආත්ම භාවයක් ඇති ව ය. එ සේ පව් කර නොමැති නම්, වෙනත් පුද්ගලයකු වශයෙන් උපත ලබයි. මෙම පුනර්ජන්ම චක්‍රය අනන්ත ව ක්‍රියාත්මක වෙයි. එහෙත් බුදුන්වහන්සේ මෙම අඛණ්ඩ චක්‍රය බිඳ හෙලීමේ මාර්ගය සොයා ගත් හ. භාවනාවේ හා කැප වීමේ ධර්‍ම මාර්ගය තුළින් නැවත ඉපදීමක් නොමැති පරිපූර්ණ ‘නිර්වාණ’ තත්වයට පත්වීමට හැකි විය. මෙය ස්වර්ගය පිලිබඳ යුදෙව් - ක්‍රිස්තියානි සංකල්පයට වඩා වෙනස් විය.

බුද්ධත්වයෙන් පසු සිද්ධාර්ථ යන නම වෙනුවට සියලු දේ අවබෝධ කැර ගත් යන අදහස ඇති බුද්ධ යන නමින් හැඳින් වූ උන් වහන්සේ තම දර්ශනය ලෝ වැස්සන් අතරට රැගෙන ගිය හ. උන් වහන්සේ ගේ පරිනිර්වාණයෙන් පසු බුද්ධ ශ්‍රාවකයින් විසින් මුළු ආසියාව පුරා ම බුදුදහම ව්‍යාප්ත කරන ලදි. චීනය, ජපානය, බටහිර ආසියාව හා ඉන්දියාවේ විශාල සංඛ්‍යාවක් බුදුදහම වැළඳ ගත් හ. අද ලෝකයේ බෞද්ධයන් මිලියන 300 ක් පමණ වෙසෙන අතර ඉන් සියයට 99.5ක් ම සිටින්නේ ආසියාවේ ය.

About

BTemplates.com