ලෝක ඉතිහාසය යනු අන් කිසිවක් නොව ශ්‍රේෂ්ට මිනිසුන්ගේ චරිතාපදානයයි ෴ The history of the world is nothing but the biography of great men

Saturday, August 27, 2016

මනුෂ්‍යත්වය හා ස්වභාව ධර්මය අතර සහසම්බන්ධය ගවේශණය කළ ඇරිස්ටෝටල් | (ක්‍රි. පූ. 384-322)

ප්ලේටෝ ගේ ශිෂ්‍යයකු වූ ද, මහා ඇලෙක්සැන්ඩර් ගේ ගුරුවරයා වූ ද, ඇරිස්ටෝටල් ඉතිහාසයේ පහළ වූ ශ්‍රේෂ්ටතම දාර්ශනිකයන්ගෙන් කෙනෙකි. මනුෂ්‍යත්වය හා ස්වභාව ධර්මයේ සෑම අංශයක් ම අතර පවත්නා සහසම්බන්ධතාවය පිලිබඳව පළමුවරට පෘථුල ලෙස ගවේශණය කළේ ඇරිස්ටෝටල් විසිනි. ඔහු කාව්‍ය ශාස්ත්‍රය, තාරකා විද්‍යාව හා ජීව විද්‍යාව මෙන් ම අධ්‍යාත්මික විද්‍යාව, සෞන්දර්ය හා තර්ක ශාස්ත්‍රය පිළිබඳව හදාරා ඒ සම්බන්ධයෙන් දේශන පැවැත්වූයේ ය.

මැසිඩෝනියානු වෙරළ තීරයේ පිහිටි, ග්‍රීසියට අයත් ප්‍රත්‍යන්ත නගරයක් වූ ස්ටැගිරා හි උපත ලත් ඇරිස්ටෝටල් වයස 17 දී ප්ලේටෝ ගේ ශිෂ්‍යයකු බවට පත් විය. පළමු ව ශිෂ්‍යයකු වශයෙන් ද, පසුව ගුරුවරයකු වශයෙන් ද වසර 20 ක කාලයක් ඇතැන්ස්හි පිහිටි ප්ලේටෝ ගේ ශාස්ත්‍රාලයේ ගත කළ හේ ඇලෙක්සැන්ඩර්ට උගැන්වීම සිදු කළේ මේ කාලය තුළ දී ය. ප්ලේටෝ ගේ අභාවයෙන් පසු ව ඇරිස්ටෝටල් එම ශාස්ත්‍රාලය හැර ගියත්, ක්‍රි. පූ. 336 දී මහා ඇලෙක්සැන්ඩර් බලයට පත් වූ පසු නැවත ඇතන්සයට පැමිණියේ ය. මහා ඇලෙක්සැන්ඩර් ගේ අනුග්‍රහය යටතේ ‘ලයිසියම්’ නමින් තමා ගේ ම ශාස්ත්‍රාලයක් පිහිට වූ ඇරිස්ටෝටල්, ක්‍රි. පූ. 336 තෙක් එහි ප්‍රධානත්වය දැරුවේ ය. 


මෙම යුගය තුළ විකාශනය වූ ඇරිස්ටෝටල් ගේ දර්ශනයේ ප්‍රධාන ස්ථානයක් ගත්තේ තර්ක ශාස්ත්‍රය පිලිබඳව ඔහු ඉදිරිපත් කළ මූලික මූලධර්ම 6 යි. එ සේ ම ඒවා අධ්‍යාත්ම විද්‍යාව, භෞතික විද්‍යාව, ආචාර ධර්ම විද්‍යාව, දේශපාලන හා ස්වභාවික විද්‍යාවන් ගේ ද මූලික ධර්මයන් විය. ස්වභාවික විද්‍යා ක්ෂේත්‍රයේ දී ජීව විද්‍යාත්මක ආදර්ශයන් එකතු කිරීම හා ඒවා ක්‍රමාණුකූලව වර්ගීකරණය කළ පළමු පුද්ගලයන් අතුරින් ඇරිස්ටෝටල් එක් අයකු විය. ස්වභාව ධර්මය පාලනය කිරීමට දායක වූ සමතුලිත තාවයන් නොහොත් ස්වභාවික ‘නීති’ හඳුනා ගැනීම හා ඒවා ප්‍රවේශමෙන් විශ්ලේෂණය කිරීම සඳහා ඔහු තුළ පැවති රුචිය මින් පැහැදිලි වේ. පරිපූර්ණ ස්වරූපයන් පිලිබඳ ප්ලේටෝ විසින් උපකල්පනය කරන ලද අතර ඇරිස්ටෝටල් විසින් එය තවදුරටත් සෛද්ධාන්තකරණය කරන ලද්දේ පදාර්ථය යනු පවතින්නක් බැවින් එය ස්වරූපයක් නොමැතිව නොතිබිය හැක්කක් ලෙසය.


ඔහු යෝජනා කළ පරිදි, සියල්ලෙහි පරිසමාත්ම, පිවිතුරු හා පරම ස්වභාවය වන්නේ පරම වික්ඤාණය (Theos) නමින් ඔහු විසින් හැඳින්වූ සහ දෙවියන් ලෙස අප විසින් හඳුනා ගන්නා ප්‍රපංචය යි. 


දේශපාලනයේදී ඔහු විසින් හොඳම පාලන ක්‍රමය ලෙස අනුමත කරන ලද්දේ ප්‍රජාතන්ත්‍රවාදයේ හා රාජාණ්ඩුවේ සංකලනයකි. 
ඇරිස්ටෝටල් දර්ශනය හා විද්‍යාව මෙන් ම වෛද්‍ය විද්‍යාව ද හැදෑරී ය. අධ්‍යාපන ක්‍ෂෙත්‍රයේ විකාශය කෙරහි ඔහු ගේ වූ ප්‍රධාන බලපෑම වූයේ, මිනිස් සබඳතා සහ ඒ වටා බැඳුණ ලෝකයේ අනෙකුත් ප්‍රපංචයන් සමග අධ්‍යයනය කිරීම සඳහා ක්‍රමානුකූල ක්‍රමයක් ඉදිරිපත් කිරීම ය. 

ඇරිස්ටෝටල් ගේ සංකල්පයන් 13 වන ශත වර්ෂයේ දී ශාන්ත තෝමස් ඇක්වයිනාස් විසින් ක්‍රිස්තියානි දේවධර්මය හා සංකලනය කරන ලද අතර 1135-1204 දී මෙයිමොනයිසිස් විසින් යුදෙව් දේව වාදය සමග ද, 1126-1198 දී ඇවරෝස් විසින් ඉස්ලාම් ආගම සමග ද සංකලනය කරන ලදි.


ලයිසියම් ශාස්ත්‍රාලය


No comments:

Post a Comment

About

BTemplates.com