ලෝක ඉතිහාසය යනු අන් කිසිවක් නොව ශ්‍රේෂ්ට මිනිසුන්ගේ චරිතාපදානයයි ෴ The history of the world is nothing but the biography of great men

Thursday, July 21, 2016

කාන්තා විමුක්තිය වෙනුවෙන් කථා කළ ප්ලේටෝ | (ක්‍රි. පූ. 427-347)

සොක්‍රටීස් ගේ ශිෂ්‍යයන් අතුරින් වැදගත් ම තැනැත්තා වූ ප්ලේටෝ, ඇතන්ස්හි අවසාන රජ වූ කෝඩ්‍රස්ගෙන් පැවත එන පෙරික්ටියොන් හා ඇරිස්ටෝන් දෙපලට පුත් ව ඇතීනියානු රදළ පවුලක, උපන්නේය. 


පෙලොපොනේසියන් යුද්ධයේ දී (ක්‍රි. පූ. 431-404) සටන් කිරීම සඳහා බඳවා ගනු ලැබූ ප්ලේටෝ වයස අවුරුදු 20 දී පෙරලා නිවෙසට පැමිණ සොක්‍රටීස් යටතේ අධ්‍යාපනයේ යෙදුණේ ය. සිය ගුරුවරයා වූ සොක්‍රටීස් මියයන විට වයස අවුරුදු 28 ක් වූ ප්ලේටෝ ඔහු ගේ උගැන්වීම් පිලිබඳව තමා දත් සියලු දේ ලේඛනගත කළේ ය. 

බැබිලෝනියාව, ඊජිප්තුව, ලිබියාව, සහ දකුණු ඉතාලියේ ග්‍රීක යටත් විජිතයන්හි බොහෝ සේ සංචාරය කළ ප්ලේටෝ දේශපාලනයෙන් වැළකී සිටී නමුත් ඔහු ගේ ඥාති සොහොයුරා මෙන්ම අනුප්‍රාප්තිකයා ද වූ ඩියොන් සහ සයිරකියුස්හි ඩියෝනිසියුස් සමග රාජ සභාවේ දාර්ශනිකයා වශයෙන් සේවය කළේ ය. ක්‍රි. පූ. 353 දී ආපසු ඇතන්ස් නගරයට පැමිණි ප්ලේටෝ සිය ශාස්ත්‍රාලය ආරම්භ කළේ ය. එහි දී ඔහු විශේෂයෙන් තෝරාගත් ශිෂ්‍යයන් සුළු පිරිසකට උගැන්වීම කළ අතර ඇරිස්ටෝටල් එහි සිටි ශිෂ්‍යයන් අතරින් එක් අයෙක් විය. 

දාර්ශනික වශයෙන් ගත් කල ප්ලේටෝ සොක්‍රටීස් ගේ උගැන්වීම් තවදුරටත් විස්තෘත කොට පරිපාකයට පත් කළේ ය. ‘ද රිපබ්ලික්’ නම් වූ ග්‍රන්ථයේ ඔහු ආචාර ධර්ම, සදාචාරය සහ විචාර බුද්ධිය සමබරව පවත්නා පරිසමාප්ත රාජ්‍යයක් යෝජනා කළේ ය. සොක්‍රටීස් මෙන් ම ඔහු ද කිසියම් ලබ්ධියක් කරපින්නාගෙන සිටිනවාට වඩා ඥාන ගවේශණය කිරීම පිලිබඳව සැලකිල්ලක් දැක් වූ බව පෙනේ. 

ප්ලේටෝ කාන්තා විමුක්තිය වෙනුවෙන් කථා කළ ආදීතම පුරුෂයන් අතරින් ප්‍රමුඛයෙක් විය. කාන්තාවන්ට රජයේ හා සාමාන්‍ය ජීවිතයේ සම තත්වයක් ලැබිය යුතු බව ඔහු විශ්වාස කළ අතර කාන්තාවන්ට උසස් අධ්‍යාපනය සඳහා වරම් නොතිබූ යුගයක, සමාජයේ වගකීම් දැරීම් සඳහා සූදානම් වීමට අවශ්‍ය සාධකයක් වශයෙන් කාන්තාවන්ට අධ්‍යාපනය ලබා දීමට සිය සහය පල කෙළේය. 

ද රිපබ්ලික් මුල් ග්‍රන්ථයෙහි ශේෂ වූ කොටස්
එසේ ම ඔහු ගේ ශ්‍රේෂ්ට ගුරුවරයා මෙන් ම, විශ්ව සත්‍ය තුළ සදාචාරය හා සාමග්‍රිය ගැබ්ව ඇති බව ප්ලේටෝ විශ්වාස කළේ ය. එසේම සුන්දරත්වය, සත්‍යය හා සත්භාවයේ පරිසමාප්ත ස්වරූපයන් පිළිබඳවත් ඥානය හා ප්‍රඥාව ගවේෂණය තුලින් එම ස්වරූපයන් පහල වන බවත් හේ විශ්වාස කෙළේය.

ක්‍රිස්තු වර්ෂ තුන්වන සියවසේ දී ප්ලෝටිනස් ගේ නායකත්වයෙන් වූ ‘නියෝප්ලා ටොනික්’ ව්‍යාපාරය මගින් ද, පසුව ශාන්ත තෝමස් ඇක්වයිනාස්ගේ කෘතීන් මගින් ද ප්ලේටෝ ගේ අදහස් වලට පුනර්ජීවයක් සපයනු ලැබිණ. මධ්‍යතන යුගයේ දී ක්‍රිස්තියානි දහම පහළ වන විට එහි දාර්ශනික පදනම සැකසීමට මෙම අදහස් මහත් සේ බලපෑවේ ය.

ප්ලේටෝගේ ශාස්ත්‍රාලය

About

BTemplates.com