ලෝක ඉතිහාසය යනු අන් කිසිවක් නොව ශ්‍රේෂ්ට මිනිසුන්ගේ චරිතාපදානයයි ෴ The history of the world is nothing but the biography of great men
Showing posts with label ලේඛකයන් හා කවියන්. Show all posts
Showing posts with label ලේඛකයන් හා කවියන්. Show all posts

Wednesday, July 1, 2015

ලෝක ඉතිහාසය නිර්මාණය කළ හිරොඩොටස් | (ක්‍රි. පූ. 485-425 )

පුද්ගලයන් රාශියක් විසින් ලෝක ඉතිහාසය හැඩ ගැස් වූ බව පවසන්නේ නම් එය නිර්මාණය කරන ලද්දේ එක් පුද්ගලයකු විසිනැයි කිව හැකිය. ඉතිහාසය හා එහි මූලික සන්ධිස්ථානයන් වාර්තා ගත කිරීමට හා අගැයීමට නූතන බටහිර ලෝකය විසින් භාවිතා කරන ක්‍රමවේදය වර්ධනය කළේ හිරොඩොටස් ය. චූල ආසියාවේ හැලිකානාසස් හි උපන් හිරොඩොටස් එවක සිටි දුෂ්ට පාලකයකු වූ ලිග්ඩාමිස්ට විරුද්ධ ව කළ විප්ලවයේ දී ප්‍රධාන භූමිකාවක් දැරූ අතර පසු ව ඇතන්ස් වෙත සංක්‍රමණය වූයේ ය. ඔහු තත්කාලීන ඉතිහාසය - විශේෂයෙන්ම ග්‍රීසිය හා පර්සියාව අතර පැවති යුද්ධ පිලිබඳ ව - හා ඊට පෙරකාලීන සිදු වීම් පිලිබඳ ව ක්‍රමානුකූල ව වාර්තාගත කිරීම ආරම්භ කළේ මෙහි දී ය. කාලීන සිදුවීම් පිලිබඳ ව මීට පෙර ද යම් යම් පුද්ගලයන් විසින් වාර්තා කොට ඇතත් ක්‍රමික ව හා විෂය මූලික ව ඓතිහාසික සිදුවීම් වල පැවති අන්තර් සම්බන්ධතාවය අධ්‍යයනය කිරීමට තැත් කළ පළමුවැන්නා ලෙස  හිරොඩොටස් සැලකේ. ඉතිහාසයේ පියා වශයෙන් සැලකෙන හිරොඩොටස් ඊජිප්තුව හා මධ්‍යධරණී කලාපය පුරා සංචාරය කළ අතර එහි දී ස්වකීය මෙන් ම විජාතික සංස්කෘතීන් ද හදාරමින් හැකි උපරිම විශ්වසනීයත්වයෙන් යුතු ව තොරතුරු වාර්තාගත කළේ ය. ඉතිහාසය සිද්ධාන්තකරණයේ දී ඔහු එ වකට ග්‍රීසියේ පැවති සාම්ප්‍රදායික “ස්වර්ණමය මධ්‍යම ප්‍රතිපදාව” යන සංකල්පය භාවිතා කළේ ය. මින් සංකේතවත් වූයේ මධ්‍යස්ථ හා සමබරතාවයේ ඇති යෝග්‍ය භාවය හා පක්‍ෂග්‍රාහී හා අසමබරතාවයේ ඇති විනාශකාරී බව යි. මෙම සිද්ධාන්තයට අනුව ප්‍රකෝපකාරී සර්ක්සෙස් ගේ දෛවොපගත විනාශකාරී පරාජය නොවැළැක්විය හැක්කක් විය.

සිය ජීවිතයේ සැඳෑ සමයේ දී 
හිරොඩොටස් ඉතාලියේ තූරි යන ග්‍රීක ජනාවාසය බිහි කිරීමට දායක වූ අතර ඔහු මිය ගියේ ද එහි දී බව අනුමාන කැරේ.



Thursday, February 9, 2012

හෝමර් (ගී‍්‍රසිය - කි‍්‍ර. පූ. 850)

හෝමර්
හෝමර් කි‍්‍ර. පූ. 9 වන සියවසේ ගී‍්‍රසියේ විසූ අන්ධ කවියකු විය. ඔහු මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ සදා නොනැසෙන මහා වීර කාව්‍ය දෙකක් නිර්මාණය කළේ ය. මේ හැරුණු විට ඔහු පිලිබඳව වෙනත් තොරතුරු වැඩි යමක් දැනගන්නට නැත. ඔහු සමහරවිට සංචාරක කවියකු විය හැක. සමහර විට ගී‍්‍රක නගර රාජ්‍යයක රාජ සභාවේ කථකයකු වූවා විය හැක. හෝමර් ගේ යනු ඔහු ගේ නමට බැර වූ කෘතීන් විස්තර කිරීමට නිර්මාණය කරන ලද මනඃකල්පිත චරිතයක් ය යන්න පවා ඇතැමෙක් විශ්වාස කරති.

හෝමර් ජීවත් වූවා යැයි විශ්වාස කැරෙන ශත වර්ශයේ මහා වීර කාව්‍යයන් දෙකක් බිහි විය. ගී‍්‍රක සාහිත්‍යයේ බිහි වූ එය ඉලියඩ් සහ ඔඩිසි යන කාව්‍යද්වය යි. ට්‍රෝජන් යුද්ධය පසුබිම් කර ගෙන නිර්මාණය කරන ලද මෙම කාව්‍යයන් විශිෂ්ට සාහිත්‍ය කෘතීන් වශයෙන් ශත වර්ෂ ගණනාවක් තිස්සේ තවමත් නොනැසී පැවතීමට තරම් බල සම්පන්න විය. ඉලියඩ් කාව්‍යයෙන් කියවෙනුයේ පැහැරගත් ට්‍රෝජන් කාන්තාවක් වන බ‍්‍රයිසියස් සම්බන්ධයෙන් ඇචිලිස් ඔහු ගේ අණදෙන නිලධාරි ආගමෙනන් සමග ඇතිකර ගත් දබරය යි. ඇචිලිස් ට්‍රෝජන් වරුන් හා යුද්ධ කිරීම ප‍්‍රතික්‍ෂෙප කළ ද, ඔහු ගේ මිතුරා වන පැට්‍රෝකලස්, ට්‍රෝජන් ජනරාල් වරයකු වන හෙක්ටර් විසින් මරා දමනු ලැබූ විට, සිය මිතුරා මරා දැමූ පලිය ගැනීමට ඔහු ට්‍රෝජන් වරුන් හා යුද වැදුණේ ය.

හෝමර් සිය කාව්‍යයන් ගායනා කරමින්
ඔඩිසි කථාන්තරය පදනම් වී ඇත්තේ ඔඩිසියස් විසින් දස වසක් මුළුල්ලේ කරන ලද සංචාරය හා ඔහුට මුහුණ පෑමට සිදු වූ විශාල යෝධයන්, රාක්ෂයන් හා මායාකාරියන් පිලිබඳව ය. ඔහු ආපසු සියරට වන ඉතාකා දේශයට පැමිණි විට දක්නට ලැබෙන්නේ ඇතැමුන් සිය බිරිඳ වැන්දඹුවක් බවට පත් ව ඇතැයි ඇයට ඒත්තු ගන්වමින් ඇය ගේ සිත දිනා ගැනීමට උත්සාහ කරමින් සිටින අයුරු යි. ඔවුන් පලවා හැරීමට ඔහුට සිදු විය. අවසානයේ දී ඔඩිසියස් ඉතාකා දේශයේ සිහසුන ද දිනා ගෙන පෙනිලෝප් හා යළි එක් වෙයි.

හෝමර් විසින් රචනා කරන ලදැයි කියැවෙන තවත් කෘති ඇතත්, ඔහු පිළිබඳ සැබෑ උරුමය රඳා පවතින්නේ ඉලියඩ් හා ඔඩිසිස් කාව්‍යයන් ගෙන් ආභාසය ලැබ ලෝක සාහිත්‍යයට එක් වූ ගිණිය නොහැකි තරම් නිර්මාණයන් සහ ඔහු විසින් නිර්මාණය කරන ලද අපූර්ව චරිත හා මිථ්‍යා ප‍්‍රබන්ධයන් තුළ ය.
 
ඔඩිසි සිතුවමට නැඟුණු අවස්ථාවක්


About

BTemplates.com