ලෝක ඉතිහාසය යනු අන් කිසිවක් නොව ශ්‍රේෂ්ට මිනිසුන්ගේ චරිතාපදානයයි ෴ The history of the world is nothing but the biography of great men

Monday, October 10, 2016

ලීවරයකින් පෘථිවිය සෙලවූ ආකිමිඩීස් | (ක්‍රි. පූ. 287 - 212)

පුනරුදය සමයට පෙර ලොව වුසූ ශ්‍රේෂ්ටතම ගණිතඥයා ලෙස සැලකිය හැකි ආකිමිඩීස්, සිසිලි දූපතේ පිහිටි සයිරකියුස් යන ස්ථානයේ උපන්නේ ය. ඇලෙක්සැන්ඩ්‍රියා නගරය ශාස්ත්‍රෝද්ග්‍රහණයේ ජගත් මධ්‍යස්ථානයක් ලෙස පැවති ස්වර්ණමය යුගයේ දී ආකිමිඩීස් සැමෝස්හි කොනන් යටතේ ඇලෙක්සැන්ඩ්‍රියා විශ්ව විද්‍යාලයේ දී විද්‍යාව හැදෑරී ය. ගණිත විද්‍යාවේ මූලික තැනුම් ඒකකයන් වන වෘත්ත, කේතු, සිලින්ඩර, පරාවල, තල සහ ගෝලයන්හි ජ්‍යාමිතියට අදාළ මූලික ප්‍රමේයයයන් නිර්මාණය කිරීම සඳහා ඔහු පුරෝගාමී විය.

තාරකා විද්‍යාව හැදාරූ ආකිමිඩීස්, අහසේ ගෝලාකාර හා ත්‍රිමාණ සිතියමක් නිර්මාණය කෙළේ ය. එසේ ම මූලික යන්ත්‍රයන් වන ලීවරය, කප්පිය හා ඉස්කුරුප්පුව වැනි මූලික යන්ත්‍ර ගැන පෘථුල ලෙස ලියමින් හේ භෞතික විද්‍යා ක්‍ෂෙත්‍රයේ පුරෝගාමී කටයුතු රාශියකට මුල පිරුවේ ය. ලීවරය භාවිතා කිරීම පිලිබඳව ඔහු ගේ අධ්‍යයනය කෙතරම් සාර්ථක වුයේ ද යත් වරක් ඔහු පාරට්ටු කෙළේ “මට සිටගෙන සිටින්නට තැනක් දෙන්න, එවිට මම, (ලීවරයකින්) පෘථිවිය සොලවන්නම්” යනුවෙනි.

ආකිමිඩීස් ගේ යාන්ත්‍රික සොයාගැනීම් අතරින් වැදගත් ම උපකරණය වන්නේ ‘ආකිමිඩීස් ඉස්කුරුප්පුව’ යි. ඇළ දොළ ආදී ජල ප්‍රවාහයන්හි සිට ඉහළ මට්ටමක පිහිටි කෘෂිකාර්මික දිය අගල් වෙත ජලය පොම්ප කිරීම සඳහා සැකසූ භ්‍රමණය වන පොම්පයක් වශයෙන් මෙය නිර්මාණය කරන ලදි. නොගැඹුරු කෝණයකින් යුතුව ජලයේ ගිල් වූ මෙම ඉස්කුරුප්පුවේ ඕනෑ ම පොටක පහළ දාරය ඊට පහළින් තුබූ පොටෙහි ඉහළ දාරයට පහළින් පිහිටන සේ සකසා තිබිණ. ඉස්කුරුප්පුවේ දණ්ඩ, අක්ෂය වටා භ්‍රමණය වන විට ඉස්කුරුප්පු පොට ජලය තුළට ගමන් කොට සර්පිලාකාර ව ජලය ඉහළට රැගෙන විත් ඉස්කුරුප්පුව මුදුණින් මුදා හරින ලදි.

තරලයන්ගේ ගතිකය පිලිබඳ අධ්‍යයනයක් සේ සැලකෙන ද්‍රවස්තිථි විද්‍යාවේ ද (Hydrostatics) නිර්මාතෘ වූයේ ආකිමිඩීස් ය. වරක් ජල ඔරුවක ස්නානය කරමින් සිටිය දී හේ ‘විස්ථාපනය’ පිලිබඳ මූලධර්මය සොයා ගත්තේ ය. එමඟින් කියවෙන්නේ, ද්‍රවයක් තුළ බහාලන ලද ඝන වස්තුවක බර, එමගින් විස්ථාපනය වන ද්‍රවයේ බරට සමාන ප්‍රමාණයකින් අඩු වන බව යි.

ක්‍රි. පූ. 214 දී රෝමන්වරු සයිරකුස්වලට පහර දෙන විට ආකිමිඩීස් ඉතා ප්‍රයෝජනවත් යුද උපකරණ රාශියක් සැළසුම් කෙළේ ය. දිගු දුර විදිය හැකි කැටපෝල සහ හිරු එළිය උපයෝගී කරගෙන රෝම නැව් ගිනි තැබිය හැකි කණ්නාඩි ද ඔහු සැලසුම් කෙළේ ය. වසර දෙකකට පසු රෝමන්වරු නගරය ආක්‍රමණය කළ විට, ආකිමිඩීස් හට කිසිදු හිංසාවක් නොකොට රැක ගැනීමට නියෝග කරන ලදි. කෙසේ වුවත් දිනක් ආකිමිඩීස් වැල්ලේ කෝටු කැබැල්ලකින් අඳිමින් කිසියම් ගණිත ගැටලුවක් විසඳීමට උත්සාහ කරමින් සිටියදී, එයට බාධා කළ රෝමානු පාබල හේවායකුට බැණ වැදුණේ ය. ඉන් කිපුණ හේවායා විසින් මේ ශ්‍රේෂ්ට මිනිසා එතැන ම මරා දමන ලද බව සඳහන්වේ. මෙම සිදුවීම ගැන ඇසූ මාර්සෙලස් නම් රෝම ජනරාල් වරයා විසින් මේ ගණිතඥයාට ගෞරව පිණිස සොහොන් ගැබක් ඉදි කරන ලදි.



Friday, October 7, 2016

දිග්විජයෙන් ධර්ම විජයට පිළිපන් අශෝක (ධර්මාශෝක) | (ක්‍රි. පූ. ? - 232)

අර්ථ විවරණයන්ට අනුව කිසියම් නායකයකුට එසේ විය හැක්කේ, අප ‘නායකත්වය’ යනුවෙන් හඳුනාගනු ලබන බුද්ධියේ සහ බලයේ උත්කර්ෂවත් සංකලනයක් නිසා ය. මිනිස් ශිෂ්ටාචාරයේ මුල් අවදියේ දී නායකයන් සලකනු ලැබූයේ සර්වබලධාරී මෙන් ම යටත්වැසි ජනතාවගෙන් දුරස්ථ වූ කොට්ඨාශයක් වශයෙනි. ඔවුන් අතරින් බොහෝ දෙනකු දිව්‍යමය බලයක් ඇත්තවුන් සේ සලකනු ලැබූ අතර, දෙවියන් ලෙස සලකනු ලැබූ ඊජිප්තුවේ පාරාවෝ රජවරු මීට නිදසුන් වෙති. රජවරුන් ගේ බලය අසීමිත වූ අතර ඔවුන් රට පාලනය කරන ලද්දේ නියෝග හා තීන්දු ප්‍රකාශ මගිනි. රජු ගේ නියමය රටේ නීතිය විය. ඇතැම් රජවරු කරුණාවන්ත වූ අතර තවත් අය කෲර වූ හ. එහෙත් බොහෝ දෙනකු රට පාලනය කළේ අයෝමය හස්තයකිනි. එසේ නො කිරීම අවඥාවට ලක්වීමට හෝ ගරු බුහුමන් නොලැබීමට හේතු කාරක වෙතැයි සලකනු ලැබිණ. ඉතිහාසයේ ප්‍රථම වරට මෙම පිළිගැනීමට පටහැනි ව ක්‍රියා කළ පාලකයා අශෝක විය හැක.

ක්‍රි. පූ. 300 ට පමණ පෙර, වර්තමානයේ ඉන්දියාව ලෙස හඳුනාගනු ලබන ප්‍රදේශයේ මෞර්ය වංශිකයකු ව උපන් අශෝක රජු ක්‍රි. පූ. 273 සිට 232 දක්වා මගධ රාජ්‍යය පාලනය කෙළේ ය. පසුකාලීන ව ඔහු ගේ අධිරාජ්‍යය වර්තමාන ඉන්දියාව (දකුණු කොටස හැර) පකිස්ථානය, බංගලාදේශය, හා ඇෆ්ඝනිස්ථානයේ කොටසක් දක්වා පැතිරිණ. ක්‍රි. පූ. 261දී ඔහු ගේ හමුදාව රුධිරයෙන් නැහැවුණු යුද්ධයකින් කාලිංග දේශය විනාශ කළ අතර මෙහි දී මිනිස් ජීවිත 200,000 ක් පමණ අනතුරට පත් විය. මෙම දුක්ඛ දායක විනාශයෙන් කළකිරීමට පත් අශෝක අධිරාජයා එවන් විනාශයක් මැදින් ලත් ජයග්‍රහණයක කිසිදු වටිනාකමක් නොමැති බව වටහා ගත්තේ ය. අවසන බුදුදහම වැළඳ ගත් හෙතෙමේ ජාතික ප්‍රතිපත්තියක් ලෙස දිග්විජය අත් හළේ ය. සත්ව හා මිනිස් බිලි පූජාවන් තහනම් කළ හේ සිය හමුදාව ආරක්‍ෂක භූමිකාවකට පමණක් සීමාකොට පවත්වා ගත්තේ ය.

අශෝක හෘදය සාක්‍ෂියට එකඟ පුද්ගලයකු බවට පත් වූ අතර ඇතැම් විට ‘සත්‍යාවබෝධය’ ලත් ලෝකයේ ප්‍රථම මහේශ්වරයා ඔහු විය හැකි ය. පැවත ආ ක්‍රමය වෙනස් කළ ප්‍රථම පාලකයා ද ඇතැම් විට ඔහු විය හැක. දිග් විජය පදනම් වූ ආක්‍රමණශීලී විදේශ ප්‍රතිපත්තියක ප්‍රචණ්ඩ භාවයෙන් අත් මිදීමට අමතර ව හේ සිය දේශීය ප්‍රතිපත්තීන් ද ප්‍රතිසන්ධානගත කෙළේ ය. ඒ අනුව ඔහු රටේ පොදු සේවා ව්‍යාපෘතීන් ආරම්භ කළ අතර, සිය පාලනය යටතේ වූ ජනතාව ගේ සුභ සාධනය සඳහා කටයුතු කරන ආයතන ද පිහිටුවී ය.


Tuesday, October 4, 2016

ලෝකයේ විශාල ම අධිරාජ්‍යය ගොඩ නැංවූ මහා ඇලෙක්සැන්ඩර් | (ක්‍රි. පූ. 356-323 )

මහා ඇලෙක්සැන්ඩර්, මැසිඩෝනියාවේ 2 වන පිලිප් සහ එපිරස්හි නෙප්ටෝල්මස් ගේ දියණිය වූ ඔලිම්පියාස් යුවලට පුත් ව උපන්නේ ය. ශ්‍රේෂ්ට නායකයකු වූ පිලිප්, ක්‍රි. පූ. 336 දී ඝාතනයට ලක් වීමට පෙර මුළු ග්‍රීසිය ම ඔහුගේ අණසක යටතේ එක් සේසත් කෙළේ ය. ඇතැන්සයේ වුසූ තරුණ ඇලෙක්සැන්ඩර් සිය පියාණන් ගේ සෙවණේ පමණක් නොව සිය ගුරුවරයා වූ මහා දාර්ශනික ඇරිස්ටෝටල් ගේ ඇසුරේ ද හැදී වැඩුණේ ය. දෛවයෙන් ම ශ්‍රේෂ්ටයකු වීමට නියම වී සිටි ඇලෙක්සැන්ඩර් වයස අවුරුදු 20දී සිය පියා ගේ මරණින් පසු රජකමට පත් වූයේ ය. ඇලෙත්සැන්ඩර් ගේ පාලන කාලය වසර 13 කට සීමා වුවත් එම කාලය තුළ දී මෙතෙක් ලොව නොපැවති තරමේ විශාල අධිරාජ්‍යයක් ගොඩනැංවීමට ඔහු සමත් විය.

ශතවර්ෂයකට පෙර පර්සියානුවන්ට කළ නො හැකි ව තුබූ කාර්යයක් ඉටු කිරීමට ඇලෙක්සැන්ඩර්ට දෛවයෙන් නියම වී තිබිණි. ග්‍රීසියේ සිට ඉන්දියාව දක්වා විහිදී ගිය, යුරෝපය සහ ආසියාව අතර පිහිටි සුවිසල් අධිරාජ්‍යයක් හේ ස්ථාපිත කෙළේ ය. ‘මහා ඇලෙක්සැන්ඩර්’ නමින් ඔහු හඳුන්වනුයේ එහෙයිනි.

ක්‍රි. පූ. 333 පැවති ඉසුස් සටනේ දී, පර්සියානු අධිරාජයා වූ 3වන ඩේරියස්, ඔහු විසින් පරාජය කරනු ලැබීමෙන් අනතුරු ව පර්සියන් අධිරාජ්‍යය කැබලිවලට කැඩී ගියේ ය. පිලිප්ගෙන් තමනට උරුම වූ අධිරාජ්‍යය හා සසඳන කල එමෙන් 50 ගුණයක භූමි ප්‍රමාණයකින් ද, 20 ගුණයක ජනගහණයකින් ද සමන්විත අධිරාජ්‍යයක් වයස 33 වන විට ඇලෙක්සැන්ඩර් පාලනය කළේ ය. ඔහු ගේ බල ප්‍රදේශයට ග්‍රීසිය, ඊජිප්තුව, පෙර පැවති පර්සියන් අධිරාජ්‍යය, සහ අද මැද පෙරදිග වශයෙන් හඳුන්වනු ලබන මුළු භූමි ප්‍රදේශය ම ඇතුළත් විය. ඔහු උතුරින් යුරෝපයේ ඩැනියුබ් ගඟ දක්වාද, නැගෙනහිරින් ඉන්දියාවේ ගංගා නම් ගඟ දක්වා ද, දුරක් ගමන් කෙළේ ය. ඔහු නයිල් නදියේ ප්‍රභව ස්ථානය සෙවීම සඳහා අප්‍රිකාවේ ඈත හිමයට ගවේශක කණ්ඩායමක් පවා පිටත් කර හැරියේ ය.

ක්‍රි. පූ. 323 දී මිය යන විට, මහා ඇලෙක්සැන්ඩර්, ලෝකය එතෙක් දැන සිටි ශ්‍රේෂ්ටතම සේනාධිනායකයා මෙන් ම අධිරාජ්‍ය-තනන්නා ලෙස සලකන ලදි. ඉන් ශත වර්ෂ 20ටත් අධික කාලයකින් පසු වර්තමානයේ දී වුව සලකන කල ඔහු ලත් ජයග්‍රහණයන්ට සමකළ හැකි තරගකරුවන් සිටින්නේ අතළොස්සක් පමණි.

ඇලෙක්සැන්ඩර් අතිදක්ෂ මෙන්ම ජනකාන්ත නායකයකු වනවාට අමතර ව ඔහු ගේ අධිරාජ්‍යයේ වැදගත් දෙයක් වූයේ මෙතෙක් එකිනෙකට වෙන් වෙන්ව පැවති ප්‍රදේශවල පැවති එකිනෙකට වෙනස් වූ සංස්කෘතීන් අතර පළමුවරට නිදහසේ අදහස් හුවමාරුවක් ඇතිකර ගැනීමට ඉඩ ප්‍රස්ථාව සැලසීම යි. වෙනත් බොහෝ ජයග්‍රාහී නායකයින් මෙන් නොව මහා ඇලෙක්සැන්ඩර් තමාට යටත් වූ ප්‍රදේශවල ජනතාව ගේ අදහස් පිලිගැනීමට කැමති වූවා පමණක් නොව පර්සියානු දේශපාලන සංවිධානවලින් උගත් දේ ක්‍රියාවට ද නැංවූයේ ය. අනෙක් අතින් ගත් කල ඉන්දියාවේ කලාවට ග්‍රීක කලාව බල පෑවේ ය. වයස 33 දී සිදු වූ අකල් මරණයට පෙර ඇලෙක්සැන්ඩර් ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියා නගරය ද ගොඩ නැංවී ය. එහි ස්ථාපනය කළ මහා පුස්තකාලය වසර දහසක් පමණ පුරා පැවතුණ අතර එය ලෝකයේ ශ්‍රේෂ්ටතම අධ්‍යාපන මධ්‍යස්ථානයක් වශයෙන් විකාශනය වූයේ ය. 


About

BTemplates.com