ලෝක ඉතිහාසය යනු අන් කිසිවක් නොව ශ්‍රේෂ්ට මිනිසුන්ගේ චරිතාපදානයයි ෴ The history of the world is nothing but the biography of great men

Tuesday, October 4, 2016

ලෝකයේ විශාල ම අධිරාජ්‍යය ගොඩ නැංවූ මහා ඇලෙක්සැන්ඩර් | (ක්‍රි. පූ. 356-323 )

මහා ඇලෙක්සැන්ඩර්, මැසිඩෝනියාවේ 2 වන පිලිප් සහ එපිරස්හි නෙප්ටෝල්මස් ගේ දියණිය වූ ඔලිම්පියාස් යුවලට පුත් ව උපන්නේ ය. ශ්‍රේෂ්ට නායකයකු වූ පිලිප්, ක්‍රි. පූ. 336 දී ඝාතනයට ලක් වීමට පෙර මුළු ග්‍රීසිය ම ඔහුගේ අණසක යටතේ එක් සේසත් කෙළේ ය. ඇතැන්සයේ වුසූ තරුණ ඇලෙක්සැන්ඩර් සිය පියාණන් ගේ සෙවණේ පමණක් නොව සිය ගුරුවරයා වූ මහා දාර්ශනික ඇරිස්ටෝටල් ගේ ඇසුරේ ද හැදී වැඩුණේ ය. දෛවයෙන් ම ශ්‍රේෂ්ටයකු වීමට නියම වී සිටි ඇලෙක්සැන්ඩර් වයස අවුරුදු 20දී සිය පියා ගේ මරණින් පසු රජකමට පත් වූයේ ය. ඇලෙත්සැන්ඩර් ගේ පාලන කාලය වසර 13 කට සීමා වුවත් එම කාලය තුළ දී මෙතෙක් ලොව නොපැවති තරමේ විශාල අධිරාජ්‍යයක් ගොඩනැංවීමට ඔහු සමත් විය.

ශතවර්ෂයකට පෙර පර්සියානුවන්ට කළ නො හැකි ව තුබූ කාර්යයක් ඉටු කිරීමට ඇලෙක්සැන්ඩර්ට දෛවයෙන් නියම වී තිබිණි. ග්‍රීසියේ සිට ඉන්දියාව දක්වා විහිදී ගිය, යුරෝපය සහ ආසියාව අතර පිහිටි සුවිසල් අධිරාජ්‍යයක් හේ ස්ථාපිත කෙළේ ය. ‘මහා ඇලෙක්සැන්ඩර්’ නමින් ඔහු හඳුන්වනුයේ එහෙයිනි.

ක්‍රි. පූ. 333 පැවති ඉසුස් සටනේ දී, පර්සියානු අධිරාජයා වූ 3වන ඩේරියස්, ඔහු විසින් පරාජය කරනු ලැබීමෙන් අනතුරු ව පර්සියන් අධිරාජ්‍යය කැබලිවලට කැඩී ගියේ ය. පිලිප්ගෙන් තමනට උරුම වූ අධිරාජ්‍යය හා සසඳන කල එමෙන් 50 ගුණයක භූමි ප්‍රමාණයකින් ද, 20 ගුණයක ජනගහණයකින් ද සමන්විත අධිරාජ්‍යයක් වයස 33 වන විට ඇලෙක්සැන්ඩර් පාලනය කළේ ය. ඔහු ගේ බල ප්‍රදේශයට ග්‍රීසිය, ඊජිප්තුව, පෙර පැවති පර්සියන් අධිරාජ්‍යය, සහ අද මැද පෙරදිග වශයෙන් හඳුන්වනු ලබන මුළු භූමි ප්‍රදේශය ම ඇතුළත් විය. ඔහු උතුරින් යුරෝපයේ ඩැනියුබ් ගඟ දක්වාද, නැගෙනහිරින් ඉන්දියාවේ ගංගා නම් ගඟ දක්වා ද, දුරක් ගමන් කෙළේ ය. ඔහු නයිල් නදියේ ප්‍රභව ස්ථානය සෙවීම සඳහා අප්‍රිකාවේ ඈත හිමයට ගවේශක කණ්ඩායමක් පවා පිටත් කර හැරියේ ය.

ක්‍රි. පූ. 323 දී මිය යන විට, මහා ඇලෙක්සැන්ඩර්, ලෝකය එතෙක් දැන සිටි ශ්‍රේෂ්ටතම සේනාධිනායකයා මෙන් ම අධිරාජ්‍ය-තනන්නා ලෙස සලකන ලදි. ඉන් ශත වර්ෂ 20ටත් අධික කාලයකින් පසු වර්තමානයේ දී වුව සලකන කල ඔහු ලත් ජයග්‍රහණයන්ට සමකළ හැකි තරගකරුවන් සිටින්නේ අතළොස්සක් පමණි.

ඇලෙක්සැන්ඩර් අතිදක්ෂ මෙන්ම ජනකාන්ත නායකයකු වනවාට අමතර ව ඔහු ගේ අධිරාජ්‍යයේ වැදගත් දෙයක් වූයේ මෙතෙක් එකිනෙකට වෙන් වෙන්ව පැවති ප්‍රදේශවල පැවති එකිනෙකට වෙනස් වූ සංස්කෘතීන් අතර පළමුවරට නිදහසේ අදහස් හුවමාරුවක් ඇතිකර ගැනීමට ඉඩ ප්‍රස්ථාව සැලසීම යි. වෙනත් බොහෝ ජයග්‍රාහී නායකයින් මෙන් නොව මහා ඇලෙක්සැන්ඩර් තමාට යටත් වූ ප්‍රදේශවල ජනතාව ගේ අදහස් පිලිගැනීමට කැමති වූවා පමණක් නොව පර්සියානු දේශපාලන සංවිධානවලින් උගත් දේ ක්‍රියාවට ද නැංවූයේ ය. අනෙක් අතින් ගත් කල ඉන්දියාවේ කලාවට ග්‍රීක කලාව බල පෑවේ ය. වයස 33 දී සිදු වූ අකල් මරණයට පෙර ඇලෙක්සැන්ඩර් ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියා නගරය ද ගොඩ නැංවී ය. එහි ස්ථාපනය කළ මහා පුස්තකාලය වසර දහසක් පමණ පුරා පැවතුණ අතර එය ලෝකයේ ශ්‍රේෂ්ටතම අධ්‍යාපන මධ්‍යස්ථානයක් වශයෙන් විකාශනය වූයේ ය. 


2 comments:

  1. මහා කියන කොටසටනන් මම එකඟ නෑ...පසුකාලිනව මෙයාට ගොඩක් තැන් අල්ලගන්න ලැබුනෙ ඩේරියස් ගෙ පරාජය... ඇලෙක්සැන්ඩර් පර්සියාවට ගහද්දි ඩේරියස්ගෙ පවුලත් අල්ලගන්නවා.. ඊට පස්සෙ, පර්සියාව දුන්නෙ නැත්තන් පවුල මරණවා කියලා ඩේරියස්ට කිව්වා.. කොහොමහරි ඩේරියස් මැරෙණවා .. මැරෙණ මොහොතෙ පර්සියාව ඇලෙක්සැන්ඩර්ට බාර දෙනවා කියලා ඩේරියස් කිව්වා කියලා තමා කියන්නෙ...

    තව දෙයක්.. මෙයා ඉල්ලන් කන යුද්ධ කරේ නෑ... ඒ කිව්වෙ පැරදෙන්න වගේ තියෙන ඒවා කරේ නෑ.. හොදම උදාහරණය තමා නන්ද ට මෙයා ගැහුවෙ නෑ...

    ඇලෙක්සැන්ඩර්ගෙ අවසාන කටයුතු කරන්න ඉල්ලීම් තුනක් ඉදිරිපත් කරා..

    -මිනී පෙට්ටිය සොහොන ගවට ගෙනියන්න ඕනෙ වෛද්‍යවරුන්.. ( වෛද්‍යවරුන්ටත් මරණයෙන් කාවවත් බේරගන්න බෑ..)

    -සොහොනට යන පාර දිගේ රන් රිදී මුතු මැණික් අතුරන්න.. ( කොච්වර හම්බකරත් මැරෙද්දි ඕවා ගෙනියන්න බෑ..)

    -මිනී පෙට්ටියෙන් අත්දෙක දෙපැත්තට එල්ලා වැටෙන විදිහට තියන්න...( මැරුණම මුකුත් ගෙනියන්නෙ නෑ..)

    ReplyDelete
  2. වැදගත් සටහනක් මා යමක් ඉගෙනගත්තා මෙයින්. බොහෝම ස්තුතියි අකුරු කර තැබුවාට..

    ReplyDelete

About

BTemplates.com