ලෝක ඉතිහාසය යනු අන් කිසිවක් නොව ශ්‍රේෂ්ට මිනිසුන්ගේ චරිතාපදානයයි ෴ The history of the world is nothing but the biography of great men
Showing posts with label ආගමික නායකයන්. Show all posts
Showing posts with label ආගමික නායකයන්. Show all posts

Sunday, October 6, 2013

පෙරදිග විශිෂ්ට දර්ශනයක් බිහි කළ කොන්ෆියුසියස් | චීනය (ක්‍රි. පූ. 551 – 479)

 කුන් ෆු-ත්සු (කොන්ෆියුසියස්) තුමා
චීනයේ ශ්‍රේෂ්ටතම දාර්ශනිකයා වශයෙන් අද සලකනු ලබන කුන් ෆු-ත්සු (කොන්ෆියුසියස්) තුමා උපත ලද්දේ වර්තමානයේ ෂැන්ටුන් නමින් හඳුන්වනු ලබන පළාතේ ය. තරුණ අවදියේ දී ඉතිහාසය සහ පුරාවිද්‍යාව හැදාරූ ඔහු වරක් එවකට හොනාන් පළාතේ රාජ්‍ය ලේඛනාරක්ෂක නිලධාරි වශයෙන් කටයුතු කළ ලාඕ ත්සු හමුවීමට ද ගිය බව කියවේ. ලාඕ-ත්සු හා තාඕ වාදයෙන් ආභාසය ලැබුව ද, ඔහු ඉන් බැහැර ව ගොස් වෙනත් විකල්ප මාර්ගයක් අනුගමනය කිරීමට තීරණය කෙළේ ය. එහි ඉලක්කය වූයේ ශිෂ්ට සම්පන්න හා විද්වත් සත්පුරුෂයකු බිහි කිරීම යි. දාර්ශනිකව ගත් කල එතුමා හින්දුන් හෝ තාඕ වාදීන් තරම් නැවත ඉපදීම ගැන සැලකිල්ලක් නො දැක්වී ය. එ තුමා ගේ මූලික අවධානය යොමු වූයේ පවුල තුළ හෝ සමාජය තුළ වෙසෙන තනි පුද්ගලයන් අතර සමගි සම්පන්න සහ-සම්බන්ධතාවයන් පවත්වා ගැනීම කෙරෙහි ය.

රාජසභාවේ දාර්ශනිකයා වශයෙන් කටයුතු කළ කොන්ෆියුසියස්, චීනයේ පාලකයන්ට අවවාද අනුශාසනා කළේ ‘අභ්‍යන්තර සද්භාවයෙන් නායකත්වය සැපයීම’ තුළින් තම යටත් වැසියන් ගේ ගෞරවය දිනා ගැනීමට හා ආදර්ශවත් වීම හා එම ආදර්ශ පිලිපැදීම තුළින්ම තමන් හසුරුවා ගන්නට රටවැසියන්ට ඉඩ සැලසීම යි. එ තුමා පාලකයන් සුළඟට සමාන කළේ ය. පිටියක තිබෙන තණකොළ මතට සුළඟින් යෙදැවෙන බලපෑම මෙන් පාලකයන් ද තම යටත් වැසියන් වෙත මෘදු ලෙස බලපෑම් ඇති කළ යුතු බව ඔහු ගේ අදහස විය.

කොන්ෆියුසියස් කෘති
ඉතිහාස ලේඛකයකු වශයෙන් හෙතෙම කාව්‍ය, කථාන්තර හා පුරා වෘත්ත එකතු කර පොත් පෙළක් වශයෙන් සකස් කළ අතර ඒවා අදත් චීන සාහිත්‍යයේ සම්භාවනීය කෘතීන් ලෙස සැළකේ. ඒවා අතර, Book of Odes, The Book of Tradition, The Book of Rites සහ The Book of Changes (I Ching) වේ.

එ තුමා ගේ අභාවයෙන් පසු ඔහු ගේ කෘතීන් විශාල වශයෙන් කියවීමට බඳුන් වූ අතර එ මගින් ලද ආභාසය ද අති විශාල ය. අවසානයේ යුරෝපයට ද පැතිර ගිය එම කෘතීන් ඔහු ගේ ලතින් කරණයට ලක් වූ නම වන කොන්ෆියුසියස් නමින් ප්‍රකාශයට පත් කැරිණ.

I Ching
ආගමක් වශයෙන් කොන්ෆියුසියස් වාදය අද දශ ලක්‍ෂ 5 ක් පමණ ජනතාව විසින් අදහනු ලබන අතර ඉන් බොහොමයක් ආසියානුවෝ වෙති. ආගමකට වඩා ආචාර ධර්ම පද්ධතියක් ලෙස සැළකිය හැකි වුව ද ලෝකයේ මෙම ඇදහීම පිලි ගනු ලබන බැතිමතුන් සංඛ්‍යාව සලකන කළ ඊට හිමි වන්නේ 6 වන ස්ථානය යි. කොන්ෆියුසියානු වාදයේ ප්‍රධාන ප්‍රතිපත්තීන් අතර, ත්‍යාගශීලී බව, ආචාරශීලීත්වය හා ප්‍රඥාව මුල් කොට ගත් විශ්ව සදාචාර ධර්මයන් ද, දෙගුරුන් පිදීම, විශ්වාසවන්ත භාවය, අවංකකම, යහ වාසය, සෞභාග්‍යය, ගෞරවය, දැහැමි බව හා ලජ්ජාව යන 8 වැදෑරුම් පුරුෂාර්ථයන් ද වෙති. 

Tuesday, February 21, 2012

සංසාර චක්‍රය බිඳ හෙලීමේ මග සොයා ගත් ගෞතම බුදුන් වහන්සේ | ඉන්දියාව (ක්‍රි. පූ. 563 - 483)

ලෝකයේ විශාල ශ්‍රාවකයන් රැසක් සිටින ඉතා සංවිධානය වූ ආගම් අතුරින් යුදෙව් සහ හින්දු ආගම් දෙකෙහි මූලයන් බොහෝ ඈත අතීතයට දිවෙන අතර ඒවායේ ශාස්තෘවරුන් පිලිබඳව නිශ්චිතව දැනගන්නට නැත. අනෙක් ආගම් තුන එනම් බුද්ධාගම, ක්‍රිස්තියානිය, සහ ඉස්ලාම් ආගම නිර්මාණය කරන ලද්දේ ඓතිහාසික යුගයන්හි විසූ නිශ්චිත ශාස්තෘවරුන් විසිනි. බුදුදහමෙහි නිර්මාතෘවරයාණන් වූ සිද්ධාර්ථ ගෞතමයෝ උතුරු ඉන්දියාවේ කපිලවස්තු නගරයේ ක්ෂත්‍රිය හෙවත් රණකාමී වංශයට අයත් ධනවත් රජෙක් වූ ශුද්ධෝදන රජතුමාට පුත්ව උපන් හ. සිද්ධාර්ථ කුමරු කුඩා අවදියේ පටන් ම දර්ශනවාදය සහ හින්දු ආගමේ මූලික කරුණු ඇතුළත් වේද සාහිත්‍ය කෙරෙහි උනන්දුවක් දැක් වූ හ. මූලික වශයෙන් උන්වහන්සේ පැවැත්මේ දුක්ඛිත භාවය පිලිබඳව සැලකිල්ලක් දැක් වූ හ. කෙසේ වුවත්, පසුකාලීන ව උන්වහන්සේ තුළ හින්දු ආගම කෙරෙහි තිබුණු උනන්දුව නැතිවී ගියේ ය. තමා අවට පැවති වේදනා සමුදාය කෙරෙහි කළ කිරුණ හ.

අවසානයේදී උන් වහන්සේ ලෞකික වේදනාවන්ගෙන් ශරීරය නොව ආධ්‍යාත්මය ගලවා ගැනීම සඳහා විකල්ප දර්ශනයක් සොයා ගැනීමට තීරණය කළ හ. වයස 29 වන විට එතුමන්ට අභිනිෂ්ක්‍රමණය කිරීමට සිත් පහළ වී සිය බිරිඳ දරුවා සහ අන් සියලු ලෞකික සැප හැරදා රජ මාලිගයෙන් පිට වී සත්‍ය ගවේශණය සඳහා නික්ම ගිය හ. ශාස්තෲවරයින් රාශියක් වෙත ගොස් ඔවුන් ගේ දර්ශනයන් අධ්‍යයනය කළ උන්වහන්සේ ශරීරයට දුක් දෙමින්, උපවාස කරමින් භාවනා කරමින් වසර ගණනාවක් ගත කළ හ. එ තුමන් ගේ අරමුණ වූයේ සියලු ලෞකික ආශාවන් නැති කර සම්පූර්ණ චිත්ත පාලනයක් ඇතිකර ගැනීම ය.

අවසානයේ තමා සොයමින් සිටි සත්‍ය අවබෝධ කර ගැනීමට උන්වහන්සේ සමත් වූයේ ක්‍රි. පූ. 528 වෙසක් දින රාත්‍රියේ බෝ රුකක් යට දී සියලු අවබෝධය ඇති ව බුද්ධත්වයට පත් වීමෙනි. එම මොහොතේ දී සැනෙකින් උන්වහන්සේ දුක නැති කරන මාර්ගය අවබෝධ කරගත් හ. හින්දු ආගමේ මූලික ධර්මය වූයේ පුනරුත්පත්තිය යි. ඒ අනුව ජීවත් වන සෑම ප්‍රාණියකු ම මරණයෙන් පසු වෙනත් ප්‍රාණියකු වශයෙන් උපත ලබ යි. මෙම චක්‍රය සදාකාලික ව, අඛණ්ඩ ව ක්‍රියාත්මක වෙයි. සත්වයකු ගේ ආත්මය කුඩා කෘමියකු ගේ සිට විශාල සිවුපාවකු හෝ මනුෂ්‍යයකු දක්වා කෙමෙන් පරිණාමය වෙයි. යම් මනුෂ්‍යයෙක් ජීවිත කාලය තුළ පව් කර ඇත් නම්, ඔහු නැවත උපදින්නේ පහත් ආත්ම භාවයක් ඇති ව ය. එ සේ පව් කර නොමැති නම්, වෙනත් පුද්ගලයකු වශයෙන් උපත ලබයි. මෙම පුනර්ජන්ම චක්‍රය අනන්ත ව ක්‍රියාත්මක වෙයි. එහෙත් බුදුන්වහන්සේ මෙම අඛණ්ඩ චක්‍රය බිඳ හෙලීමේ මාර්ගය සොයා ගත් හ. භාවනාවේ හා කැප වීමේ ධර්‍ම මාර්ගය තුළින් නැවත ඉපදීමක් නොමැති පරිපූර්ණ ‘නිර්වාණ’ තත්වයට පත්වීමට හැකි විය. මෙය ස්වර්ගය පිලිබඳ යුදෙව් - ක්‍රිස්තියානි සංකල්පයට වඩා වෙනස් විය.

බුද්ධත්වයෙන් පසු සිද්ධාර්ථ යන නම වෙනුවට සියලු දේ අවබෝධ කැර ගත් යන අදහස ඇති බුද්ධ යන නමින් හැඳින් වූ උන් වහන්සේ තම දර්ශනය ලෝ වැස්සන් අතරට රැගෙන ගිය හ. උන් වහන්සේ ගේ පරිනිර්වාණයෙන් පසු බුද්ධ ශ්‍රාවකයින් විසින් මුළු ආසියාව පුරා ම බුදුදහම ව්‍යාප්ත කරන ලදි. චීනය, ජපානය, බටහිර ආසියාව හා ඉන්දියාවේ විශාල සංඛ්‍යාවක් බුදුදහම වැළඳ ගත් හ. අද ලෝකයේ බෞද්ධයන් මිලියන 300 ක් පමණ වෙසෙන අතර ඉන් සියයට 99.5ක් ම සිටින්නේ ආසියාවේ ය.

Wednesday, February 15, 2012

තාඕ වාදය ලොවට දායාද කළ ලාඕ ත්සු - චීනය | ක්‍රි. පූ. 604-531

ලාඕ ත්සු 
චීනයේ ක්‍යු-ජින් යන ප්‍රදේශයේ උපත ලත් ලාඕ ත්සු හෙවත් ලාඕ ත්සේ, චෞ රාජ වංශයේ අධිරාජයන් යටතේ රාජ්‍ය ලේඛනාරක්ෂක නිලධාරියා වශයෙන් සේවය කළේ ය. ඔහු විසින්, Tao Te Ching යන කෘතිය රචනා කරන ලද්දේ මෙම කාලයේ දී ය. එය ඈත පෙරදිගින් බිහි වූ පැරණිතම මෙන් ම බලගතු දාර්ශනික කෘතියක් විය. ලෝකයේ පවත්නා ශ්‍රේෂ්ට ආගම් වලින් එකක් වන තාඕ වාදයට පදනම දැමුණේ මෙයිනි.

ලාඕ ත්සු සිය විශ්වාසයන් මෙම ග්‍රන්ථය තුළ මෙ සේ විස්තර කර යි. ලෝක ස්වභාවය රඳා පවතින්නේ කෙනකු සිය ජීවිත කාලය තුළ අනුගමනය කරන ‘මාර්ගය’ හෙවත් තාඕව (Tao) මත ය. එම මාර්ගයේ දී කෙනකු මනුෂ්‍යත්වයත් විශ්වයත් අතර පවතින සමබරතාවය හා විශ්වයේ ස්වභාවය තුළ පවතින එකිනෙකට ප්‍රතිවිරුද්ධ බලවේගයන් සහ මනුෂ්‍යත්වයේ ස්වභාවයත් අතර පවත්නා සමතුළනය අවබෝධ කර ගනී. මෙම ද්විභින්න භාවය සහ එහි සමබරතාවය ‘යින්’ (Yin) සහ ‘යැං’ (Yang) යනුවෙන් සාරාංශ කර දක්වා ඇත. යින් සහ යැං යන්නෙහි වාචික තේරුම හිරු එළිය වැටුණ කන්දක අඳුරු පැත්ත සහ ආලෝකය සහිත පැත්ත යන්න ය. නමුත් ඉන් සංකේතවත් කරන්නේ අඳුර සහ ආලෝකය, ස්ත්‍රී හා පුරුෂ, දුබල සහ ප්‍රබල, අහස සහ පොලොව, සුදු සහ කළු, හොඳ නරක වැනි ප්‍රතිවිරුද්ධ මූලයන් අතර පවත්නා සමතුළිත භාවය යි.

ලාඕ ත්සු ගේ  Tao Te Ching  කෘතිය
ලාඕ ත්සු විග්‍රහ කරන අන්දමට තාඕ හෙවත් ‘මාර්ගය’ අනුගමනය කිරීමෙන් කෙනෙක් ‘බලවේගය’ යනුවෙන් දළ වශයෙන් පරිවර්තනය කළ හැකි ‘ටේ’ (Te) ක්‍රියාවට නඟයි. ‘ටේ’ හෙවත් බලවේගය ද යින් සහ යැං යන ද්විභින්න භාවයට යටත් වන අතර එ මඟින් අනුරූප විපාක ගෙන දෙන හොඳ හා නරක බලවේග වශයෙන් කොටස් දෙකකට වෙන් වේ. ‘ටේ’ යන්න හින්දු නොහොත් බෞද්ධ ආගම් වල දැක්වෙන කර්ම වාදයට හෝ ක්‍රිස්තියානි ආගමේ පාපය යන අදහසට සමාන ය. හින්දු ආගමට අනුව කෙනකුට යහපත් විපාක ලැබෙන්නේ ඔහු ගේ මරණයෙන් පසු පුනරුත්පත්ති චක්‍රයක් ඔස්සේ සිදු වන දෙව්ලොව උපත ලැබීම තුළිනි. 

 යින් සහ යැං සංකේතය

එසේ වුව ද තාඕ වාදයේ දී කෙනකු යම් ක්‍රියාවක් කරන විට, ඒ මොහොතේ ම හෝ ඊට බොහෝ ආසන්නයේ දී ඊට සමාන ප්‍රමාණයකින් ප්‍රති ක්‍රියාවක් සිදු වේ (භෞතික විද්‍යාවේ සර් අයිසෙක් නිව්ටන් ගේ චලිතය පිලිබඳ තුන් වන නියමයට සමාන අයුරින්). ලාඕ ත්සු එතුමන් ජීවත් ව සිටි කාලයේ දී මහත් ගෞරවාදරයට පාත්‍ර වූ අතර පසු පරම්පරාවන් හි බිහි වූ දේවධර්මවාදීන්ට මහත් ආභාසයක් ද වූයේ ය.

Tuesday, February 7, 2012

මෝසෙස් (ඊශ‍්‍රායලය - කි‍්‍ර. පූ. 1300-1220)

මෝසෙස් දස පනත සමඟ
කි‍්‍ර. පූ. 13වන ශත වර්ෂයේ දී ඊජිප්තුවේ වාසය කළ හීබ‍්‍රෑ ජනයා අති මහත් රාජ්‍ය වධ බන්ධනයන්ට භාජනය වූ හ. එක් අවස්ථාවක දී පිරිමි හීබ‍්‍රෑ දරුවන් සියලු දෙනා ම මරා දමන ලෙස පාරාවෝ රජු නියෝග කළේ ය. මෝසෙස්ගේ මව හීබ‍්‍රෑ දරුවකු වූ සිය පුත‍්‍රයා ගේ දිවි රැක ගැන්මේ අරමුණින් ඔහු වේවැල් කූඩයක බහා නයිල් නදියේ පා කර හැරියා ය. ඈ බලාපොරොත්තු වූ ලෙසට ම, දරුවා පාරාවෝ රජු ගේ දියණිය විසින් බේරා ගනු ලැබ රාජකීය මාළිගයේ ඇති දැඩි වූයේ ය. තරුණ වියට පත් මෝසෙස් සිය ජනතාව ගේ විමුක්තිය සඳහා අවසර ඉල්ලූ අතර අවසානයේ ඒ සඳහා පාරාවෝ රැම්සේ රජුගේ (කි‍්‍ර. පූ. 1292-1225) අවසරය අකමැත්තෙන් හෝ ලැබිණ. හීබ‍්‍රෑ ජනතාව ඊජිප්තුවෙන් පිට මං කර ගත් මෝසෙස් සිනායි හි තැනින් තැන ඇවිද යමින් අවසන සිය සාම්ප‍්‍රදායික නිජ භූමිය වූ වර්තමාන ඊශ‍්‍රායලයට පැමිණියේ ය. මේ සඳහා ඔවුන්ට අවුරුදු 40 ක් පමණ ගත වී යැයි කියනු ලැබේ.

කි‍්‍ර. පූ. 1250 දී පමණ සිනායි කන්දේ ඉහළ බෑවුමේ පිළිස්සෙන පඳුරක් වශයෙන් පහළ වූ දෙවියන් වහන්සේ, මෝසෙස් වෙත ගල් ලෑලි දෙකක් දුන් හ. එහි අඩංගු වූයේ දසපනත නමින් හැඳින්වෙන නීති මාලාව යි. මෝසෙස් මෙය ජනතාව වෙත රැගෙන ගිය අතර මෙය යුදෙව් වාදයේ මූලික ආචාර ධර්‍ම පද්ධතිය වශයෙන් සළකා අනුගමනය කරනු ලැබිණ. කි‍්‍රස්තියානි ආගම විසින් මෙම දස පනත පසු කාලීන ව සිය ආගමට ඇතුළු කර ගන්නා ලදි. එය අද බිලියන 1. 6 ක් පමණ වූ ජනතාව ගේ මූලික විශ්වාසයන් අතරට එක් වී ඇත.

පාරාවෝ දියණිය මෝසෙස් බේරා ගැනීම
මෙසපොතේමියාව, ඊජිප්තුව, ඉන්දියාව, ගී‍්‍රසිය, හා පසුකාලීන ව රෝමය වැනි රටවල පැවැති පුරාණ ආගම් බොහොමයක් බහු දේවවාදී විය. මෙම ආගම්වල බැතිමත්හු සූර්ය දෙවියන්, චන්ද්‍ර දෙවියන් ආදී වශයෙන් දෙවිවරු විශාල සංඛ්‍යාවක් ඇදැහූ හ. කෙ සේ වුවත් ඊශ‍්‍රායලයේ ගෝත‍්‍ර 12 කින් සමන්විත හීබ‍්‍රෑ වරුන් ජෙහෝවා නමින් හඳුන්වන ලද එක් දෙවියකු පමණක් විශ්වාස කළ හ.
ආරම්භයේ දී මෙම ඒක දේව වාදය විශ්වාස කළේ ඉතාමත් සුළු පිරිසකි. එහෙත් අද එය ලොව පුරා විසිරී ඇති ආගමික බැතිමතුන්ගෙන් අඩකටත් වඩා වැඩි පිරිසකගේ මූලික ඇදැහීම වී ඇත.

ඊජිප්තුවෙන් පිටව යාමට පෙර

About

BTemplates.com