ලෝක ඉතිහාසය යනු අන් කිසිවක් නොව ශ්‍රේෂ්ට මිනිසුන්ගේ චරිතාපදානයයි ෴ The history of the world is nothing but the biography of great men
Showing posts with label චින්තකයන් හා දර්ශනවාදීන්. Show all posts
Showing posts with label චින්තකයන් හා දර්ශනවාදීන්. Show all posts

Saturday, August 27, 2016

මනුෂ්‍යත්වය හා ස්වභාව ධර්මය අතර සහසම්බන්ධය ගවේශණය කළ ඇරිස්ටෝටල් | (ක්‍රි. පූ. 384-322)

ප්ලේටෝ ගේ ශිෂ්‍යයකු වූ ද, මහා ඇලෙක්සැන්ඩර් ගේ ගුරුවරයා වූ ද, ඇරිස්ටෝටල් ඉතිහාසයේ පහළ වූ ශ්‍රේෂ්ටතම දාර්ශනිකයන්ගෙන් කෙනෙකි. මනුෂ්‍යත්වය හා ස්වභාව ධර්මයේ සෑම අංශයක් ම අතර පවත්නා සහසම්බන්ධතාවය පිලිබඳව පළමුවරට පෘථුල ලෙස ගවේශණය කළේ ඇරිස්ටෝටල් විසිනි. ඔහු කාව්‍ය ශාස්ත්‍රය, තාරකා විද්‍යාව හා ජීව විද්‍යාව මෙන් ම අධ්‍යාත්මික විද්‍යාව, සෞන්දර්ය හා තර්ක ශාස්ත්‍රය පිළිබඳව හදාරා ඒ සම්බන්ධයෙන් දේශන පැවැත්වූයේ ය.

මැසිඩෝනියානු වෙරළ තීරයේ පිහිටි, ග්‍රීසියට අයත් ප්‍රත්‍යන්ත නගරයක් වූ ස්ටැගිරා හි උපත ලත් ඇරිස්ටෝටල් වයස 17 දී ප්ලේටෝ ගේ ශිෂ්‍යයකු බවට පත් විය. පළමු ව ශිෂ්‍යයකු වශයෙන් ද, පසුව ගුරුවරයකු වශයෙන් ද වසර 20 ක කාලයක් ඇතැන්ස්හි පිහිටි ප්ලේටෝ ගේ ශාස්ත්‍රාලයේ ගත කළ හේ ඇලෙක්සැන්ඩර්ට උගැන්වීම සිදු කළේ මේ කාලය තුළ දී ය. ප්ලේටෝ ගේ අභාවයෙන් පසු ව ඇරිස්ටෝටල් එම ශාස්ත්‍රාලය හැර ගියත්, ක්‍රි. පූ. 336 දී මහා ඇලෙක්සැන්ඩර් බලයට පත් වූ පසු නැවත ඇතන්සයට පැමිණියේ ය. මහා ඇලෙක්සැන්ඩර් ගේ අනුග්‍රහය යටතේ ‘ලයිසියම්’ නමින් තමා ගේ ම ශාස්ත්‍රාලයක් පිහිට වූ ඇරිස්ටෝටල්, ක්‍රි. පූ. 336 තෙක් එහි ප්‍රධානත්වය දැරුවේ ය. 


මෙම යුගය තුළ විකාශනය වූ ඇරිස්ටෝටල් ගේ දර්ශනයේ ප්‍රධාන ස්ථානයක් ගත්තේ තර්ක ශාස්ත්‍රය පිලිබඳව ඔහු ඉදිරිපත් කළ මූලික මූලධර්ම 6 යි. එ සේ ම ඒවා අධ්‍යාත්ම විද්‍යාව, භෞතික විද්‍යාව, ආචාර ධර්ම විද්‍යාව, දේශපාලන හා ස්වභාවික විද්‍යාවන් ගේ ද මූලික ධර්මයන් විය. ස්වභාවික විද්‍යා ක්ෂේත්‍රයේ දී ජීව විද්‍යාත්මක ආදර්ශයන් එකතු කිරීම හා ඒවා ක්‍රමාණුකූලව වර්ගීකරණය කළ පළමු පුද්ගලයන් අතුරින් ඇරිස්ටෝටල් එක් අයකු විය. ස්වභාව ධර්මය පාලනය කිරීමට දායක වූ සමතුලිත තාවයන් නොහොත් ස්වභාවික ‘නීති’ හඳුනා ගැනීම හා ඒවා ප්‍රවේශමෙන් විශ්ලේෂණය කිරීම සඳහා ඔහු තුළ පැවති රුචිය මින් පැහැදිලි වේ. පරිපූර්ණ ස්වරූපයන් පිලිබඳ ප්ලේටෝ විසින් උපකල්පනය කරන ලද අතර ඇරිස්ටෝටල් විසින් එය තවදුරටත් සෛද්ධාන්තකරණය කරන ලද්දේ පදාර්ථය යනු පවතින්නක් බැවින් එය ස්වරූපයක් නොමැතිව නොතිබිය හැක්කක් ලෙසය.


ඔහු යෝජනා කළ පරිදි, සියල්ලෙහි පරිසමාත්ම, පිවිතුරු හා පරම ස්වභාවය වන්නේ පරම වික්ඤාණය (Theos) නමින් ඔහු විසින් හැඳින්වූ සහ දෙවියන් ලෙස අප විසින් හඳුනා ගන්නා ප්‍රපංචය යි. 


දේශපාලනයේදී ඔහු විසින් හොඳම පාලන ක්‍රමය ලෙස අනුමත කරන ලද්දේ ප්‍රජාතන්ත්‍රවාදයේ හා රාජාණ්ඩුවේ සංකලනයකි. 
ඇරිස්ටෝටල් දර්ශනය හා විද්‍යාව මෙන් ම වෛද්‍ය විද්‍යාව ද හැදෑරී ය. අධ්‍යාපන ක්‍ෂෙත්‍රයේ විකාශය කෙරහි ඔහු ගේ වූ ප්‍රධාන බලපෑම වූයේ, මිනිස් සබඳතා සහ ඒ වටා බැඳුණ ලෝකයේ අනෙකුත් ප්‍රපංචයන් සමග අධ්‍යයනය කිරීම සඳහා ක්‍රමානුකූල ක්‍රමයක් ඉදිරිපත් කිරීම ය. 

ඇරිස්ටෝටල් ගේ සංකල්පයන් 13 වන ශත වර්ෂයේ දී ශාන්ත තෝමස් ඇක්වයිනාස් විසින් ක්‍රිස්තියානි දේවධර්මය හා සංකලනය කරන ලද අතර 1135-1204 දී මෙයිමොනයිසිස් විසින් යුදෙව් දේව වාදය සමග ද, 1126-1198 දී ඇවරෝස් විසින් ඉස්ලාම් ආගම සමග ද සංකලනය කරන ලදි.


ලයිසියම් ශාස්ත්‍රාලය


Thursday, July 21, 2016

කාන්තා විමුක්තිය වෙනුවෙන් කථා කළ ප්ලේටෝ | (ක්‍රි. පූ. 427-347)

සොක්‍රටීස් ගේ ශිෂ්‍යයන් අතුරින් වැදගත් ම තැනැත්තා වූ ප්ලේටෝ, ඇතන්ස්හි අවසාන රජ වූ කෝඩ්‍රස්ගෙන් පැවත එන පෙරික්ටියොන් හා ඇරිස්ටෝන් දෙපලට පුත් ව ඇතීනියානු රදළ පවුලක, උපන්නේය. 


පෙලොපොනේසියන් යුද්ධයේ දී (ක්‍රි. පූ. 431-404) සටන් කිරීම සඳහා බඳවා ගනු ලැබූ ප්ලේටෝ වයස අවුරුදු 20 දී පෙරලා නිවෙසට පැමිණ සොක්‍රටීස් යටතේ අධ්‍යාපනයේ යෙදුණේ ය. සිය ගුරුවරයා වූ සොක්‍රටීස් මියයන විට වයස අවුරුදු 28 ක් වූ ප්ලේටෝ ඔහු ගේ උගැන්වීම් පිලිබඳව තමා දත් සියලු දේ ලේඛනගත කළේ ය. 

බැබිලෝනියාව, ඊජිප්තුව, ලිබියාව, සහ දකුණු ඉතාලියේ ග්‍රීක යටත් විජිතයන්හි බොහෝ සේ සංචාරය කළ ප්ලේටෝ දේශපාලනයෙන් වැළකී සිටී නමුත් ඔහු ගේ ඥාති සොහොයුරා මෙන්ම අනුප්‍රාප්තිකයා ද වූ ඩියොන් සහ සයිරකියුස්හි ඩියෝනිසියුස් සමග රාජ සභාවේ දාර්ශනිකයා වශයෙන් සේවය කළේ ය. ක්‍රි. පූ. 353 දී ආපසු ඇතන්ස් නගරයට පැමිණි ප්ලේටෝ සිය ශාස්ත්‍රාලය ආරම්භ කළේ ය. එහි දී ඔහු විශේෂයෙන් තෝරාගත් ශිෂ්‍යයන් සුළු පිරිසකට උගැන්වීම කළ අතර ඇරිස්ටෝටල් එහි සිටි ශිෂ්‍යයන් අතරින් එක් අයෙක් විය. 

දාර්ශනික වශයෙන් ගත් කල ප්ලේටෝ සොක්‍රටීස් ගේ උගැන්වීම් තවදුරටත් විස්තෘත කොට පරිපාකයට පත් කළේ ය. ‘ද රිපබ්ලික්’ නම් වූ ග්‍රන්ථයේ ඔහු ආචාර ධර්ම, සදාචාරය සහ විචාර බුද්ධිය සමබරව පවත්නා පරිසමාප්ත රාජ්‍යයක් යෝජනා කළේ ය. සොක්‍රටීස් මෙන් ම ඔහු ද කිසියම් ලබ්ධියක් කරපින්නාගෙන සිටිනවාට වඩා ඥාන ගවේශණය කිරීම පිලිබඳව සැලකිල්ලක් දැක් වූ බව පෙනේ. 

ප්ලේටෝ කාන්තා විමුක්තිය වෙනුවෙන් කථා කළ ආදීතම පුරුෂයන් අතරින් ප්‍රමුඛයෙක් විය. කාන්තාවන්ට රජයේ හා සාමාන්‍ය ජීවිතයේ සම තත්වයක් ලැබිය යුතු බව ඔහු විශ්වාස කළ අතර කාන්තාවන්ට උසස් අධ්‍යාපනය සඳහා වරම් නොතිබූ යුගයක, සමාජයේ වගකීම් දැරීම් සඳහා සූදානම් වීමට අවශ්‍ය සාධකයක් වශයෙන් කාන්තාවන්ට අධ්‍යාපනය ලබා දීමට සිය සහය පල කෙළේය. 

ද රිපබ්ලික් මුල් ග්‍රන්ථයෙහි ශේෂ වූ කොටස්
එසේ ම ඔහු ගේ ශ්‍රේෂ්ට ගුරුවරයා මෙන් ම, විශ්ව සත්‍ය තුළ සදාචාරය හා සාමග්‍රිය ගැබ්ව ඇති බව ප්ලේටෝ විශ්වාස කළේ ය. එසේම සුන්දරත්වය, සත්‍යය හා සත්භාවයේ පරිසමාප්ත ස්වරූපයන් පිළිබඳවත් ඥානය හා ප්‍රඥාව ගවේෂණය තුලින් එම ස්වරූපයන් පහල වන බවත් හේ විශ්වාස කෙළේය.

ක්‍රිස්තු වර්ෂ තුන්වන සියවසේ දී ප්ලෝටිනස් ගේ නායකත්වයෙන් වූ ‘නියෝප්ලා ටොනික්’ ව්‍යාපාරය මගින් ද, පසුව ශාන්ත තෝමස් ඇක්වයිනාස්ගේ කෘතීන් මගින් ද ප්ලේටෝ ගේ අදහස් වලට පුනර්ජීවයක් සපයනු ලැබිණ. මධ්‍යතන යුගයේ දී ක්‍රිස්තියානි දහම පහළ වන විට එහි දාර්ශනික පදනම සැකසීමට මෙම අදහස් මහත් සේ බලපෑවේ ය.

ප්ලේටෝගේ ශාස්ත්‍රාලය

Friday, April 15, 2016

පරමාදර්ශී පාලනයක් පිලිබඳ විශ්වාස කළ සොක්‍රටීස් | (ක්‍රි. පූ. 469-399)

ඇතන්ස් හි උපත ලත් සොක්‍රටීස්, අද බටහිර දර්ශනවාදයේ ප්‍රාරම්භක පියවරුන් වශයෙන් සළකනු ලබන, ග්‍රීසියේ පහළ වූ අනුක්‍රමික මහා දාර්ශනිකයන් තිදෙනාගෙන් පළමුවැන්නා විය. ඔහු ගේ ශිෂ්‍යයකු වූ ප්ලේටෝ පසු ව ඇරිස්ටෝටල් ගේ ගුරුවරයා විය.

මනුෂ්‍යයකු ජීවත් විය යුත්තේ යම් අරමුණක් උදෙසා යයි හෙතෙම විශ්වාස කෙළේ ය. කෙනකු තමා ජීවත් වන වටපිටාව හා අවශේෂ පුද්ගලයන් සමඟ පවත්වන සම්බන්ධතාවය අර්ථකතනය කිරීමේ දී ‘හොඳ සහ නරක’ ඉතා වැදගත් ව බලපාන බව ඔහු විශ්වාස කළේ ය. දේශකයකු වශයෙන් ඔහු තුළ තුබූ බුද්ධි ප්‍රතිභාව මෙන් ම උපහාස රසය ද අනුස්මරණීය වේ. සොක්‍රටීස් පිලිබඳ ව අප දන්නා කරුණු බොහොමයක් අඩංගු වන්නේ ප්ලේටෝ ගේ ‘ඩයලොග්ස්’ නම් කෘතියෙනි. ප්ලේටෝ සහ සොක්‍රටීස් අතර දර්ශනවාදය පිලිබඳ ව ඇති වූ සාකච්ඡා පිලිබඳ ව එහි වාර්තා ගත කොට ඇත. සදාචාරය, ස්වඅවබෝධයෙන් ඇති වන්නක් බවත්, මනුෂ්‍යයා ස්වභාවයෙන් ම අවංක බවත්, පාපය යනු සිය ස්වභාවය දියුණු කරන්නට ගන්නා නොමඟ ගිය උත්සාහයක් බවත් ඔහු විශ්වාස කළේ ය. ඔහු ගේ ප්‍රධාන ආප්තෝපදේශය වූයේ ‘තමන් අවබෝධ කරගන්න’ යන්න යි.

සොක්‍රටීස් විසින් පිලිගන්නා ලද පරිදි පරමාදර්ශී ආණ්ඩුවක් යනු නිසියාකාර ව සූදානම් කරන ලද ප්‍රඥාවන්ත පුද්ගලයන්ගෙන් සමන්විත සමාජයේ යහපත සඳහා කැප වූ පාලනයකි. ‘විද්‍යාත්මක ක්‍රමය’ වර්ධනය කිරීම සඳහා මග හෙළි කළ පරිසරය පිලිබඳ ස්වභාවික සමතුළිතතාවය පිලිබඳ විධිමත් අදහස් රෝපණය කළ පුරෝගාමියකු වශයෙන් ද හෙතෙම සිහි කරනු ලබයි.

ඔහු ස්වාභාවික ලෝකයට පිටුපසින් ඇති තනි, ඒකීය හා ශ්‍රේෂ්ට බලවේගයක් පිලිබඳ අදහස විශ්වාස කෙළේ ය. මෙය සාම්ප්‍රදායික බහු දේවවාදී විශ්වාසයට පටහැනි එකක් වූ අතර, ඇතන්ස් හි තරුණයින් නොමග යැවීමේ චෝදනාව මත සිරභාරයට ගැනීම සඳහා ඔහු ගේ මෙම න්‍යාය හේතුවක් විය. ප්ලේටෝ ගේ ‘ඇපලොජි’ කෘතියෙහි ඔහු ගේ නඩු විභාගය පිලිබඳ ව ද, ‘ෆේඩෝ’ කෘතියෙහි ඔහු සිරගත ව සිටිය දී ශිෂ්‍යයන් සමග පැවැත් වූ සාකච්ඡා පිලිබඳ ව ද විස්තර සඳහන් වේ. සොක්‍රටීස් වරදකරු කළ නඩු තීන්දුවෙන් අනතුරු ව ඔහුට හෙම්ලොක් නම් විෂ වර්ගය පානය කිරීමෙන් දිවි නසා ගැනීමට සලස්වන ලදි. සොක්‍රටීස් ගේ ස්වතන්ත්‍ර ලේඛනයන් දුර්ලභ වුවත් ප්ලේටෝ හා ක්සෙනෝෆොන් (ක්‍රි. පූ. 430-357) ගේ කෘතීන් තුළ ඔහු ගේ ජීවිතය ද දර්ශනය ද ජීවමාන ව පවතී. 

සොක්‍රටීස්ගේ මරණ මංචකය

About

BTemplates.com