ලෝක ඉතිහාසය යනු අන් කිසිවක් නොව ශ්‍රේෂ්ට මිනිසුන්ගේ චරිතාපදානයයි ෴ The history of the world is nothing but the biography of great men

Wednesday, February 15, 2012

තාඕ වාදය ලොවට දායාද කළ ලාඕ ත්සු - චීනය | ක්‍රි. පූ. 604-531

ලාඕ ත්සු 
චීනයේ ක්‍යු-ජින් යන ප්‍රදේශයේ උපත ලත් ලාඕ ත්සු හෙවත් ලාඕ ත්සේ, චෞ රාජ වංශයේ අධිරාජයන් යටතේ රාජ්‍ය ලේඛනාරක්ෂක නිලධාරියා වශයෙන් සේවය කළේ ය. ඔහු විසින්, Tao Te Ching යන කෘතිය රචනා කරන ලද්දේ මෙම කාලයේ දී ය. එය ඈත පෙරදිගින් බිහි වූ පැරණිතම මෙන් ම බලගතු දාර්ශනික කෘතියක් විය. ලෝකයේ පවත්නා ශ්‍රේෂ්ට ආගම් වලින් එකක් වන තාඕ වාදයට පදනම දැමුණේ මෙයිනි.

ලාඕ ත්සු සිය විශ්වාසයන් මෙම ග්‍රන්ථය තුළ මෙ සේ විස්තර කර යි. ලෝක ස්වභාවය රඳා පවතින්නේ කෙනකු සිය ජීවිත කාලය තුළ අනුගමනය කරන ‘මාර්ගය’ හෙවත් තාඕව (Tao) මත ය. එම මාර්ගයේ දී කෙනකු මනුෂ්‍යත්වයත් විශ්වයත් අතර පවතින සමබරතාවය හා විශ්වයේ ස්වභාවය තුළ පවතින එකිනෙකට ප්‍රතිවිරුද්ධ බලවේගයන් සහ මනුෂ්‍යත්වයේ ස්වභාවයත් අතර පවත්නා සමතුළනය අවබෝධ කර ගනී. මෙම ද්විභින්න භාවය සහ එහි සමබරතාවය ‘යින්’ (Yin) සහ ‘යැං’ (Yang) යනුවෙන් සාරාංශ කර දක්වා ඇත. යින් සහ යැං යන්නෙහි වාචික තේරුම හිරු එළිය වැටුණ කන්දක අඳුරු පැත්ත සහ ආලෝකය සහිත පැත්ත යන්න ය. නමුත් ඉන් සංකේතවත් කරන්නේ අඳුර සහ ආලෝකය, ස්ත්‍රී හා පුරුෂ, දුබල සහ ප්‍රබල, අහස සහ පොලොව, සුදු සහ කළු, හොඳ නරක වැනි ප්‍රතිවිරුද්ධ මූලයන් අතර පවත්නා සමතුළිත භාවය යි.

ලාඕ ත්සු ගේ  Tao Te Ching  කෘතිය
ලාඕ ත්සු විග්‍රහ කරන අන්දමට තාඕ හෙවත් ‘මාර්ගය’ අනුගමනය කිරීමෙන් කෙනෙක් ‘බලවේගය’ යනුවෙන් දළ වශයෙන් පරිවර්තනය කළ හැකි ‘ටේ’ (Te) ක්‍රියාවට නඟයි. ‘ටේ’ හෙවත් බලවේගය ද යින් සහ යැං යන ද්විභින්න භාවයට යටත් වන අතර එ මඟින් අනුරූප විපාක ගෙන දෙන හොඳ හා නරක බලවේග වශයෙන් කොටස් දෙකකට වෙන් වේ. ‘ටේ’ යන්න හින්දු නොහොත් බෞද්ධ ආගම් වල දැක්වෙන කර්ම වාදයට හෝ ක්‍රිස්තියානි ආගමේ පාපය යන අදහසට සමාන ය. හින්දු ආගමට අනුව කෙනකුට යහපත් විපාක ලැබෙන්නේ ඔහු ගේ මරණයෙන් පසු පුනරුත්පත්ති චක්‍රයක් ඔස්සේ සිදු වන දෙව්ලොව උපත ලැබීම තුළිනි. 

 යින් සහ යැං සංකේතය

එසේ වුව ද තාඕ වාදයේ දී කෙනකු යම් ක්‍රියාවක් කරන විට, ඒ මොහොතේ ම හෝ ඊට බොහෝ ආසන්නයේ දී ඊට සමාන ප්‍රමාණයකින් ප්‍රති ක්‍රියාවක් සිදු වේ (භෞතික විද්‍යාවේ සර් අයිසෙක් නිව්ටන් ගේ චලිතය පිලිබඳ තුන් වන නියමයට සමාන අයුරින්). ලාඕ ත්සු එතුමන් ජීවත් ව සිටි කාලයේ දී මහත් ගෞරවාදරයට පාත්‍ර වූ අතර පසු පරම්පරාවන් හි බිහි වූ දේවධර්මවාදීන්ට මහත් ආභාසයක් ද වූයේ ය.

1 comment:

  1. ලිපි පෙළම හරිම වටිනවා ස්තුතියි ඔබට

    ReplyDelete

About

BTemplates.com