ලෝක ඉතිහාසය යනු අන් කිසිවක් නොව ශ්‍රේෂ්ට මිනිසුන්ගේ චරිතාපදානයයි ෴ The history of the world is nothing but the biography of great men

Sunday, October 6, 2013

පෙරදිග විශිෂ්ට දර්ශනයක් බිහි කළ කොන්ෆියුසියස් | චීනය (ක්‍රි. පූ. 551 – 479)

 කුන් ෆු-ත්සු (කොන්ෆියුසියස්) තුමා
චීනයේ ශ්‍රේෂ්ටතම දාර්ශනිකයා වශයෙන් අද සලකනු ලබන කුන් ෆු-ත්සු (කොන්ෆියුසියස්) තුමා උපත ලද්දේ වර්තමානයේ ෂැන්ටුන් නමින් හඳුන්වනු ලබන පළාතේ ය. තරුණ අවදියේ දී ඉතිහාසය සහ පුරාවිද්‍යාව හැදාරූ ඔහු වරක් එවකට හොනාන් පළාතේ රාජ්‍ය ලේඛනාරක්ෂක නිලධාරි වශයෙන් කටයුතු කළ ලාඕ ත්සු හමුවීමට ද ගිය බව කියවේ. ලාඕ-ත්සු හා තාඕ වාදයෙන් ආභාසය ලැබුව ද, ඔහු ඉන් බැහැර ව ගොස් වෙනත් විකල්ප මාර්ගයක් අනුගමනය කිරීමට තීරණය කෙළේ ය. එහි ඉලක්කය වූයේ ශිෂ්ට සම්පන්න හා විද්වත් සත්පුරුෂයකු බිහි කිරීම යි. දාර්ශනිකව ගත් කල එතුමා හින්දුන් හෝ තාඕ වාදීන් තරම් නැවත ඉපදීම ගැන සැලකිල්ලක් නො දැක්වී ය. එ තුමා ගේ මූලික අවධානය යොමු වූයේ පවුල තුළ හෝ සමාජය තුළ වෙසෙන තනි පුද්ගලයන් අතර සමගි සම්පන්න සහ-සම්බන්ධතාවයන් පවත්වා ගැනීම කෙරෙහි ය.

රාජසභාවේ දාර්ශනිකයා වශයෙන් කටයුතු කළ කොන්ෆියුසියස්, චීනයේ පාලකයන්ට අවවාද අනුශාසනා කළේඅභ්‍යන්තර සද්භාවයෙන් නායකත්වය සැපයීම තුළින් තම යටත් වැසියන් ගේ ගෞරවය දිනා ගැනීමට හා ආදර්ශවත් වීම හා එම ආදර්ශ පිලිපැදීම තුළින්ම තමන් හසුරුවා ගන්නට රටවැසියන්ට ඉඩ සැලසීම යි. එ තුමා පාලකයන් සුළඟට සමාන කළේ ය. පිටියක තිබෙන තණකොළ මතට සුළඟින් යෙදැවෙන බලපෑම මෙන් පාලකයන් ද තම යටත් වැසියන් වෙත මෘදු ලෙස බලපෑම් ඇති කළ යුතු බව ඔහු ගේ අදහස විය.

කොන්ෆියුසියස් කෘති
ඉතිහාස ලේඛකයකු වශයෙන් හෙතෙම කාව්‍ය, කථාන්තර හා පුරා වෘත්ත එකතු කර පොත් පෙළක් වශයෙන් සකස් කළ අතර ඒවා අදත් චීන සාහිත්‍යයේ සම්භාවනීය කෘතීන් ලෙස සැළකේ. ඒවා අතර, Book of Odes, The Book of Tradition, The Book of Rites සහ The Book of Changes (I Ching) වේ.

එ තුමා ගේ අභාවයෙන් පසු ඔහු ගේ කෘතීන් විශාල වශයෙන් කියවීමට බඳුන් වූ අතර එ මගින් ලද ආභාසය ද අති විශාල ය. අවසානයේ යුරෝපයට ද පැතිර ගිය එම කෘතීන් ඔහු ගේ ලතින් කරණයට ලක් වූ නම වන කොන්ෆියුසියස් නමින් ප්‍රකාශයට පත් කැරිණ.

I Ching
ආගමක් වශයෙන් කොන්ෆියුසියස් වාදය අද දශ ලක්‍ෂ 5 ක් පමණ ජනතාව විසින් අදහනු ලබන අතර ඉන් බොහොමයක් ආසියානුවෝ වෙති. ආගමකට වඩා ආචාර ධර්ම පද්ධතියක් ලෙස සැළකිය හැකි වුව ද ලෝකයේ මෙම ඇදහීම පිලි ගනු ලබන බැතිමතුන් සංඛ්‍යාව සලකන කළ ඊට හිමි වන්නේ 6 වන ස්ථානය යි. කොන්ෆියුසියානු වාදයේ ප්‍රධාන ප්‍රතිපත්තීන් අතර, ත්‍යාගශීලී බව, ආචාරශීලීත්වය හා ප්‍රඥාව මුල් කොට ගත් විශ්ව සදාචාර ධර්මයන් ද, දෙගුරුන් පිදීම, විශ්වාසවන්ත භාවය, අවංකකම, යහ වාසය, සෞභාග්‍යය, ගෞරවය, දැහැමි බව හා ලජ්ජාව යන 8 වැදෑරුම් පුරුෂාර්ථයන් ද වෙති

About

BTemplates.com