ලෝක ඉතිහාසය යනු අන් කිසිවක් නොව ශ්‍රේෂ්ට මිනිසුන්ගේ චරිතාපදානයයි ෴ The history of the world is nothing but the biography of great men

Sunday, February 5, 2012

පාරාවෝ මේනස් (ඊජිප්තුව - ක‍්‍රි. පූ. 3100)

පාරාවෝ මේනස්
ලෝක ඉතිහාසයේ පළමු අධිරාජයා ද, ‍ඓතිහාසික එක්සත් ඊජිප්තුවේ ආදිකර්‍තෘ වරයා ද, එහි ප්‍රථම රාජ වංශයේ ප්‍රථම නරේන්ද්‍රයා ද ලෙස සැලකෙන්නේ  පාරාවෝ මේනස් ය. ඉතිහාසය හැඩ ගැස්වීමේ ලා හැකියාවක් ඇති පුද්ගලයකු ගේ බිහි වීම, එවැන්නක් සිදු විය හැකි පසුතලයක පරිණාමය මත රඳා පවතී. යමකුට එවැනි චරිතයක් රඟපෑම සඳහා කිසි යම් වේදිකාවක් තිබිය යුතු ය. ඒ අනුව මේනස් රඟ පෑ වේදිකාව වූයේ අද ඊජිප්තුව නමින් හඳුන්වනු ලබන නයිල් නදියේ සාරවත් පහළ කොටස යි.

මනුෂ්‍ය සමාජය කුඩා රංචු වල සිට ගෝත‍්‍ර දක්වා ද, ඉන් පසු ව ස්වයං පාලනය සහිත ඒකකයන් වූ මහා නගර දක්වා ද, විකාශනය විය. වඩා බලවත් වූ මහා නගර වල බලපෑම තවත් පුළුල් වී කෙමෙන් අවට පිහිටි ගම්බිම් ද අත් පත් කර ගනු ලැබිණ. කි‍්‍ර. පූ. 3300 වන විට, නයිල් නදිය අවට පිහිටා තිබුණු නගර එකතු වී ඉහළ ඊජිප්තුව (සුදු කිරුළ) සහ පහළ ඊජිප්තුව (රතු කිරුළ) නමින් රාජධානි දෙකක් බිහි වී තිබිණ. කි‍්‍ර. පූ. 3100 දී පහළ ඊජිප්තුවේ රතු කිරුළ පැළැඳි මේනස් රජු මෙම රාජ්‍ය දෙක එක් සේසත් කළ අතර එය ලොව බිහි වූ පළමු අධිරාජ්‍යය බවට පත් විය.

මේනස්, ලොව එතෙක් නොපැවති අන්දමේ දේශපාලන ඒකකයක් බිහි කළේ ය. සමාජයේ කුඩා ඒකකයන් එකට එක් වී වඩාත් සංවිධානය වූ විශාල ඒකකයන් බවට පත් වීමේ ක‍්‍රියාවලිය වසර දහස් ගණනක් තිස්සේ පැවැතියත්, මේනස් විසින් ගොඩ නඟනු ලැබූ එක්සත් ඊජිප්තුව අති සුවිශේෂ ඒකකයක් විය. ඊජිප්තුව තව දුරටත් කොටස් එකතු වීමෙන් සැදුම් ලත් රාජ්‍යයක් පමණක් නො වී ය. එකම හිසක් මත පැළඳි රතු කිරුළක් හා සුදු කිරුළක් පමණක් නො වී ය. මෙම කොටස් දෙක එකට එකතු වී සීමා බන්ධනයන්ගෙන් තොර තනි රාජධානියක් හෙවත් ලොව බිහි වූ ප‍්‍රථම අධිරාජ්‍යය බවට පත් විය. එය ඉතිහාසයේ ප‍්‍රථම වරට සිදු වූ පුළුල් පදනමක් සහිත සමාජ ආර්ථික ක‍්‍රමයකට මඟ හෙළි කරන දේශපාලන ඒකකයක බිහි වීම යි.

මෙය ලොව වෙනත් තැනෙක ද සිදුවන්නට ඉඩ තිබිණි. එහෙත් අවසන එය සිදු වූයේ ඊජිප්තුවේ ය. එහි ප‍්‍රථිපලයක් වශයෙන් ඉදිරි ශත වර්ෂ ගණනාවක් ගත වන තුරු ඊජිප්තුව ලොව අග‍්‍ර රාජධානිය බවට පත් විය. මේනස් අනාගතයේ සිදුවන දේ දැන සිටියේ ද යන්න අප නො දනිතත් දේශපාලන නායකයකු වශයෙන් ඔහු ගේ තීක්ෂ්ණ භාවය ගැන ඔහු ගේ අධිරාජ්‍යයේ දීර්‍ඝ පැවැත්ම දෙස් දෙයි. ඔහු ඇබිඩෝස් අසළ වූ පැරණි තිනිස් නගරයේ සිට සිය පාලනය මෙහෙය වූ අතර ඔහු ගේ රාජ්‍ය කාලය තුළ දී ලොව ප‍්‍රථම වරට හීරෝග්ලිපික් හෝඩිය භාවිතයට ගන්නා ලද බවක් විශ්වාස කෙරේ.

හීරෝග්ලිපික් අක්ෂර
මේනස් හා ඔහු ගේ අනුප‍්‍රාප්තිකයින් ගේ වසර 2500ක් පමණ දීර්‍ඝ වූ රාජ්‍ය පාලනය යටතේ ඊජිප්තුව තුළ එතෙක් ලොව නොපැවති තරමේ සංකීර්ණ සංස්කෘතියක් වර්ධනය විය. එකිනෙකට වෙන් වූ නගර තව දුරටත් සියල්ලෙන් ස්වයංපෝෂිත වීම අත්‍යාවශ්‍ය නො වී ය. ඒ නගර සියල්ල එකිනෙක මත යැපෙන සහජීවනයකින් යුතු විය. මෙම සමාජය මධ්‍යයේ දේශපාලනික මෙන් ම ආගමික වශයෙන් ද පාරාවෝ වරු අති මහත් ධනයක් හා බලයක් වර්ධනය කර ගත් හ. පාරාවෝ සාමාන්‍ය රජ කෙනකුට වඩා ඉහළින් සැලකුණ අතර ක‍්‍රමයෙන් ඔහු දෙවියකු වශයෙන් වන්දනාමාන කරන තත්වයකට පත් විය. දැවැන්ත නගර සහ මහා පරිමාණයේ ඉංජිනේරුමය ව්‍යාපෘති බිහි විය.

පාරාවෝ වරුන් ගේ අධිරාජ්‍යය පසුකාලීන ව බිඳ වැටී වෙනත් නව අධිරාජ්‍යයන් විසින් යටපත් කරනු ලැබී ය. කෙ සේ වෙතත් පාරාවෝ වරුන් පිළිබඳ උරුමය, විද්‍යාවේ සිට ගෘහ නිර්මාණ ශිල්පය දක්වා විහිදෙන මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ වැදගත් ම සන්ධිස්ථානයක් ලෙස තවමත් සිහි කරනු ලබයි, ගරු කරනු ලබයි.

6 comments:

  1. හොඳ ලිපියක්...
    දිගටම ලියන්න..සුබ පතනවා...

    ReplyDelete
  2. ඉතාම හොද ලිපියක් . ජය වෙවා

    ReplyDelete
  3. Ane ක්ලියෝපැට්ට්‍රා ගැන විස්තරයක් දාන්නකෝ

    ReplyDelete

About

BTemplates.com