ලෝක ඉතිහාසය යනු අන් කිසිවක් නොව ශ්‍රේෂ්ට මිනිසුන්ගේ චරිතාපදානයයි ෴ The history of the world is nothing but the biography of great men

Friday, April 15, 2016

පරමාදර්ශී පාලනයක් පිලිබඳ විශ්වාස කළ සොක්‍රටීස් | (ක්‍රි. පූ. 469-399)

ඇතන්ස් හි උපත ලත් සොක්‍රටීස්, අද බටහිර දර්ශනවාදයේ ප්‍රාරම්භක පියවරුන් වශයෙන් සළකනු ලබන, ග්‍රීසියේ පහළ වූ අනුක්‍රමික මහා දාර්ශනිකයන් තිදෙනාගෙන් පළමුවැන්නා විය. ඔහු ගේ ශිෂ්‍යයකු වූ ප්ලේටෝ පසු ව ඇරිස්ටෝටල් ගේ ගුරුවරයා විය.

මනුෂ්‍යයකු ජීවත් විය යුත්තේ යම් අරමුණක් උදෙසා යයි හෙතෙම විශ්වාස කෙළේ ය. කෙනකු තමා ජීවත් වන වටපිටාව හා අවශේෂ පුද්ගලයන් සමඟ පවත්වන සම්බන්ධතාවය අර්ථකතනය කිරීමේ දී ‘හොඳ සහ නරක’ ඉතා වැදගත් ව බලපාන බව ඔහු විශ්වාස කළේ ය. දේශකයකු වශයෙන් ඔහු තුළ තුබූ බුද්ධි ප්‍රතිභාව මෙන් ම උපහාස රසය ද අනුස්මරණීය වේ. සොක්‍රටීස් පිලිබඳ ව අප දන්නා කරුණු බොහොමයක් අඩංගු වන්නේ ප්ලේටෝ ගේ ‘ඩයලොග්ස්’ නම් කෘතියෙනි. ප්ලේටෝ සහ සොක්‍රටීස් අතර දර්ශනවාදය පිලිබඳ ව ඇති වූ සාකච්ඡා පිලිබඳ ව එහි වාර්තා ගත කොට ඇත. සදාචාරය, ස්වඅවබෝධයෙන් ඇති වන්නක් බවත්, මනුෂ්‍යයා ස්වභාවයෙන් ම අවංක බවත්, පාපය යනු සිය ස්වභාවය දියුණු කරන්නට ගන්නා නොමඟ ගිය උත්සාහයක් බවත් ඔහු විශ්වාස කළේ ය. ඔහු ගේ ප්‍රධාන ආප්තෝපදේශය වූයේ ‘තමන් අවබෝධ කරගන්න’ යන්න යි.

සොක්‍රටීස් විසින් පිලිගන්නා ලද පරිදි පරමාදර්ශී ආණ්ඩුවක් යනු නිසියාකාර ව සූදානම් කරන ලද ප්‍රඥාවන්ත පුද්ගලයන්ගෙන් සමන්විත සමාජයේ යහපත සඳහා කැප වූ පාලනයකි. ‘විද්‍යාත්මක ක්‍රමය’ වර්ධනය කිරීම සඳහා මග හෙළි කළ පරිසරය පිලිබඳ ස්වභාවික සමතුළිතතාවය පිලිබඳ විධිමත් අදහස් රෝපණය කළ පුරෝගාමියකු වශයෙන් ද හෙතෙම සිහි කරනු ලබයි.

ඔහු ස්වාභාවික ලෝකයට පිටුපසින් ඇති තනි, ඒකීය හා ශ්‍රේෂ්ට බලවේගයක් පිලිබඳ අදහස විශ්වාස කෙළේ ය. මෙය සාම්ප්‍රදායික බහු දේවවාදී විශ්වාසයට පටහැනි එකක් වූ අතර, ඇතන්ස් හි තරුණයින් නොමග යැවීමේ චෝදනාව මත සිරභාරයට ගැනීම සඳහා ඔහු ගේ මෙම න්‍යාය හේතුවක් විය. ප්ලේටෝ ගේ ‘ඇපලොජි’ කෘතියෙහි ඔහු ගේ නඩු විභාගය පිලිබඳ ව ද, ‘ෆේඩෝ’ කෘතියෙහි ඔහු සිරගත ව සිටිය දී ශිෂ්‍යයන් සමග පැවැත් වූ සාකච්ඡා පිලිබඳ ව ද විස්තර සඳහන් වේ. සොක්‍රටීස් වරදකරු කළ නඩු තීන්දුවෙන් අනතුරු ව ඔහුට හෙම්ලොක් නම් විෂ වර්ගය පානය කිරීමෙන් දිවි නසා ගැනීමට සලස්වන ලදි. සොක්‍රටීස් ගේ ස්වතන්ත්‍ර ලේඛනයන් දුර්ලභ වුවත් ප්ලේටෝ හා ක්සෙනෝෆොන් (ක්‍රි. පූ. 430-357) ගේ කෘතීන් තුළ ඔහු ගේ ජීවිතය ද දර්ශනය ද ජීවමාන ව පවතී. 

සොක්‍රටීස්ගේ මරණ මංචකය

About

BTemplates.com