ලෝක ඉතිහාසය යනු අන් කිසිවක් නොව ශ්‍රේෂ්ට මිනිසුන්ගේ චරිතාපදානයයි ෴ The history of the world is nothing but the biography of great men

Sunday, August 13, 2017

රෝම අධිරාජ්‍යයේ නිම්වළලු පුළුල් කළ ගේයස් ජූලියස් සීසර්. | (ක්‍රි. පූ. 102-44)

ප්‍යුනික් යුද්ධයේ දී (ක්‍රි. පූ. 264-146) කාතේජ් නුවර ලද පරාජයත් සමඟ මධ්‍යධරණී කලාපය රෝමවරුන් ගේ පාලනයට නතු විය. රෝම නායකයන් ගේ ආකල්පය වූයේ ලෝකයේ හැකි තරම් විශාල භූමි ප්‍රමාණයක් යටත් කරගෙන පාලනය කිරීමේ වරම දෛව නියමයෙන් තමනට හිමි වී තිබෙන බවකි. මෙම ආකල්පය යථාර්ථයක් බවට පත් කෙළේ ඉන් පෙර කිසි දාක කිසි දු රෝම අධිරාජයකු විසින් රැගෙන නොගිය තරම් ඈතට රෝම අධිරාජ්‍යයේ ප්‍රත්‍යන්ත දේශ සීමා විහිදුවා ලූ ජූලියස් සීසර් විසිනි. ඔහු ජීවත් ව සිටින කාලය තුළ රෝමය පැවතියේ සමූහාණ්ඩුවක් වශයෙන් පමණක් වූ අතර නිල අධිරාජ තනතුර ඇති වූයේ ද ඔහු ගේ මරණයෙන් පසුව ය. එතෙකුදු වුව, පුරාවෘත්ත, කාව්‍ය, සහ ශේක්ස්පියර් නෘත්‍යයන් මඟින් අමරණීයත්වයට පත් කරන ලද ජූලියස් සීසර්, රෝමයේ බිහි වූ උත්කෘෂ්ටතම ‘අධිරාජයා’ වශයෙන් සලකනු ලැබේ.

කුලීන පවුලක පුත් ව උපන් සීසර්, රෝම යුද හමුදාවට බැඳී ආසියාවේ දී විශිෂ්ට දස්කම් දක්වා වික්‍රමාන්විත භාවය සඳහා ලැබෙන ඉහළ ම පදක්කම වූ ‘ප්‍රජා කිරුළ’ ද ලබා ගත්තේ ය. පෙරළා සිය රට පැමිණි සීසර් දේශපාලනයට ප්‍රවිශ්ට වී වයස 34 දී රාජ්‍ය භාණ්ඩාගාරික වශයෙන් පත් වූ අතර වයස 39 දි ප්‍රධාන ප්‍රීස්ටැට් වරයාද වයස 43 වන විට රාජ්‍යතාන්ත්‍රිකයකු බවට ද පත් විය.

රෝමයේ බලය හා ශ්‍රී විභූතිය මෙන් ම සිය පෞද්ගලික යශෝ කීර්තිය වර්ධනය කිරීමේ අරමුණින් සීසර් උතුරු දෙසට සාර්ථක හමුදා මෙහෙයුමක් දියත් කෙළේ ය. ක්‍රි. පූ. 58 හා 55 අතර දී ඔහු ගෝල් (වර්තමාන ප්‍රංශය) හෙල්වෙටි (ස්වට්සර්ලන්තය) හා බෙල්ජිකා (බෙල්ජියම) නගර ජයගත්තේ ය. බ්‍රිතාන්‍යයෙන් ද බොහෝ ප්‍රමාණයක් ආක්‍රමණය කර අත්පත් කර ගත් හේ රයින් ගඟ තරණය කොට ජර්මානුන් හා සටන් වැදුණේ ය.

සීසර් වීරයකු ලෙස රෝමයට ආපසු පැමිණියත් ජෙරුසලම යටත් කළ රෝම ජනරාල්වරයා වූ පොම්පේ (ක්‍රි. පූ. 106-48) සමඟ දේශපාලන ගැටුමක් ඇතිකර ගත්තේ ය. ප්‍රධාන කොන්සල් ධූරය හෙබ වූ පොම්පේ විවාහ වි සිටියේ සීසර් ගේ දියණිය වූ ජූලියා සමඟ ය. සීසර් කොන්සල් ධූරය තමාට ලබා දෙන මෙන් ඉල්ලා සිටිය ද එය ලැබුණේ පොම්පේට ය.

එවකට පැවති නීතිය අනුව ජනරාල්වරුන්ට තම හමුදා රෝම නගරය තුළට ගෙන ඒම තහනම් වූ අතර එම හමුදාවන් රුබිකෝන් ගංගාවට උතුරින් නවතා තැබිය යුතු විය. ක්‍රි. පූ. 50දී මෙම නීතිය හිතුවක්කාර ලෙස බිඳ දමමින් සීසර් රුබිකෝන් ගඟ තරණය කර රෝමයට ඇතුළු වූයේ කුමන්ත්‍රණයක් දියත් කරමිනි. පොම්පේ නිලයෙන් පහ කළ සීසර්, සමූහාණ්ඩුව ද අහෝසි කර ඔහු සැලසුම් කළ පරිදි ම රෝමයේ ඒකායන පාලකයා බවට පත් වූයේ ය. ග්‍රීසිය පුරා රෝම පාලනය තහවුරු කළ හේ සිරියාවට සහ ඊජිප්තුවට එරෙහි ව විජයග්‍රාහී සටනක් දියත් කෙළේ ය. ක්‍රි. පූ. 46 දී පෙරලා රෝමයට පැමිණ එහි නිත්‍ය ඒකාධිපති පාලකයා බවට පත් වූ සීසර්, මහා ඇලෙක්සැන්ඩර්ටත් වඩා ප්‍රබල වූ ඉතිහාසයේ විශිෂ්ටතම ම විජයග්‍රාහකයා ලෙස රෝමය පාලනය කෙළේ ය.

ඔහු හා වෛර බැඳගත් සගයකු වූ මාකස් ජූනියස් බ්‍රෑටස් (ක්‍රි. පූ. 85-42) අතින් ක්‍රි. පූ. 44 මාර්තු 15 දින රෝමානු සෙනේට් සභාවේ දී ඝාතනයට ලක් වන තුරු ම සීසර් රෝමයේ අනභිභවනීය පාලකයා වූයේ ය.

ජුලියස් සීසර් රෝමයේ පමණක් නොව සමස්ත යුරෝපා ඉතිහාසයේ ම ගමන් මඟ විශාල වශයෙන් වෙනස් කෙළේ ය. රෝමය තුළ සමූහාණ්ඩුව අහෝසි කළ හේ තත්වාකාර අධිරාජ තනතුරක් නිර්මාණය කෙළේ ය. සීසර් ගේ මරණයෙන් වසර 14 කට පසු බලයට පත් ඔහු ගේ බෑණනුවන් වූ සීසර් ඔගස්ටස් විසින් එම අධිරාජ තනතුර නිල තත්වයකට පත් කරන ලද්දේ ය. සීසර් බලය හඹා ගෙන නැගී ආ අවදියේ රෝමය, මධ්‍යධරණී ප්‍රදේශයේ ප්‍රධාන දේශපාලන බලවේගය බවට පත් ව තිබුණි. ඔහු ගේ මරණය සිදු වන විට රෝමය යුරෝපයේ පමණක් නොව ඇතැම් විට මුළු ලෝකයේ ම ප්‍රථම සුපිරි බලය බවට පත් ව තිබුණේ ය.




1 comment:

About

BTemplates.com