ලෝක ඉතිහාසය යනු අන් කිසිවක් නොව ශ්‍රේෂ්ට මිනිසුන්ගේ චරිතාපදානයයි ෴ The history of the world is nothing but the biography of great men

Wednesday, April 15, 2015

පෙරික්ලීස් | ග්‍රීසිය (ක්‍රි. පූ. 429)

පෙරික්ලීස්
කුළීන පවුලක උපත ලත් පෙරික්ලීස් තුළ මහජනතාව ඇමතීමේ ප්‍රබල සහජ හැකියාවක් තිබුණි. ක්‍රි. පූ. 469 දී ප්‍රජාතන්ත්‍රවාදය නියෝජනය කරමින් දේශපාලනයට අවතීර්ණ වූ ඔහු සිය තරඟ කරු වන තුසීඩිඩ්ස් (ක්‍රි. පූ. 460-400) පරාජය කර ග්‍රීසියේ බලවත් ම නගර-රාජ්‍යය වූ ඇතන්ස් හි පාලකයා බවට පත් වූයේය. සිය රාජ්‍යය ශ්‍රී විභූතියේ උච්චතම ස්ථානය කරා ගෙන යාමට ඔහුට හැකි විය.

පෙරික්ලීස් පුරාතනයේ සිටි ශ්‍රේෂ්ටතම ව්‍යවස්ථාපිත රාජ්‍ය තාන්ත්‍රිකයා වශයෙන් සැලකෙන අතර ඔහු ලබා ගත් ජයග්‍රහණ මාලාව සිත් අලවන සුලු ය. ඔහු ඇතන්ස් හි බල සේනා ලෝකයේ බලවත් ම හමුදාවන්ගෙන් එකක් බවට පත් කළ අතර ඩෙල්පි ආක්‍රමණය, ඉයුබා සහ සමෝස් හි කැරළි මර්දනය ඇතුළු සටන් රාශියකට නායකත්වය දුන්නේ ය. ඔහු පාර්තිනෝන් ඇතුලු විශිෂ්ට ගොඩනැගිලි නිර්මාණ රාශියකින් ඇතන්ස් නගරය විභූතිමත් කළේ ය. ඕනෑ ම අයකුට රජයේ තනතුරක් දැරිය හැකි පරිදි සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් ස්ථාපනය කරන ලද අතර පරිපාලන නිලධාරීන්ට වැටුප් ක්‍රමයක් ද දිලිඳුන් සඳහා සහන දීමනාවක් ද ලබා දෙන ලදි.

පෙරික්ලීස් ගේ ප්‍රියාව වූ මිලටස් හි ඇස්පේසියා (ක්‍රි. පූ. 470-410) සිය රූප සෞන්දර්ය මෙන් ම තීක්‍ෂණ දේශපාලන ඥානය නිසා ප්‍රසිද්ධ වූවා ය. ඇය ශ්‍රේෂ්ට දර්ශනවාදියකු වූ සොක්‍රටීස් (ක්‍රි. පූ. 469-399) ගේ අනුග්‍රාහිකාවක් වූ අතර පෙරික්ලීස් ගේ පාලනයේ දී අගනා සහකාරියක් වූවා ය. පෙරික්ලීස් ඇය ගෙන් ලත් සුළු පටු නො වූ බලපෑමට පින් සිදුවන්නට ඇතන්ස් එහි ස්වර්ණමය යුගයට එළැඹුණ අතර නැගෙනහිර මධ්‍යධරණී කලාපයේ කලා හා සංස්කෘතික කේන්ද්‍රස්ථානය බවට පත් විය.

ඇතන්ස්හි මෙම පිබිදීමට තවත් හේතුවක් වූයේ සිය එදිරිවාදී නගර රාජ්‍යයක් වූ ස්පාටා ප්‍රධාන කොට ගත් පෙලොපොනේසියන් රාජ්‍ය සන්ධානය සමග ක්‍රි. පූ. 445 දී ඔවුන් ඇති කර ගත් සාම ගිවිසුම යි. කෙ සේ වුවත් ක්‍රි. පූ. 431 දී ස්පාටාව විසින් මෙම ගිවිසුම කඩ කරමින් ආරම්භ කළ ගැටුම දශක තුනක් ඔස්සේ විහිදුණු පොලෙපනේසියන් යුද්ධය බවට පත් විය. අනතුරු ව ඇතන්ස් රාජ්‍යයට පෙරික්ලීස් යටතේ පැවති එම ශ්‍රී විභූතිය යළි කිසි දිනෙක අත් කැර ගත නො හැකි විය.

ඇස්පෙසියා


පාර්තිනොන්

Saturday, April 4, 2015

සර්ක්සෙස් I | පර්සියාව (ක්‍රි. පූ. 519 - 465)


 සර්ක්සෙස් I
ක්‍රි. පූ. 6 වන සියවසේදී මහා සයිරස් රජු පර්සියන් අධිරාජ්‍යය ගොඩ නැංවූ අතර ක්‍රි. පූ. 521 දී සිහසුනට පත් ඔහු ගේ මුණුබුරු ඩේරියස් (ක්‍රි. පූ. 558-486) පර්සියන් බලය ඊජිප්තුව පුරා විහිදුවමින් ෆිනීෂියානු බළ ඇණි ද තම සේනාවට එක්කර ගත්තේ ය. ඔහු ගේ ඊ ළඟ ඉලක්කය වූයේ ග්‍රීසියේ නගර-රාජ්‍යයන් අතර පැවති භේද භින්නතාවය ප්‍රයෝජනයට ගෙන එ රට ජය ගැන්ම යි. එහෙත් ඩේරියස් ගේ ප්‍රහාරයන්ට එරෙහි ව සියලු වාද භේදයන් අමතක කර එක්සත් වූ එම රාජ්‍යයන් විසින් ඔහු ගේ හමුදාව පලවා හරින ලදි. පර්සියානු හමුදාවන්ට වඩා සංඛ්‍යාවෙන් අඩු වුවත් මනා පුහුණුවක් ලබා තිබූ ග්‍රීක හමුදාව ක්‍රි. පූ. 490 දී ‘මැරතන් හි මහ සටනින්’ පර්සියන් හමුදාව පරාජය කෙළේ ය.

ඊට දස වසකට පසු එ නම් ක්‍රි. පූ. 480 දී ඩේරියස් ගේ වැඩි මහල් පුත් සර්ක්සෙස් I, වඩා විශාල හමුදාවක් සංවිධානය කොට නාවික හමුදා ඒකකයන් ද සහාය කරගෙන මිලියන 2.5 ක බල සේනා සහිත ව ග්‍රීසිය බලා ගමන් කළේ ය. ඔහු ස්පාටා හි රජු වන ලෙනිඩාස්, තර්මොපයිලෙ යන ස්ථානයේ දී සම්පුර්ණයෙන් යටත් කර ගෙන ග්‍රීක හද බිම බලා පිටත් විය. එහෙත් ක්‍රි. පූ. 480 සැප්තැම්බර් 23 වන දා උපායශීලී ව පර්සියන් හමුදා සලාමිස් නම් දූපත අසළ පටු සමුද්‍ර සන්ධියකට කොටු කරගත් ග්‍රීකයෝ ඔවුන් පරදවා විනාශ කර දැමූ හ. ශීත සෘතුව තුළ නැවතත් හමුදාව රැස් කළ සර්ක්සෙස් ආපසු පැමිණ ප්ලාටේ මිටියාවතේ දී ග්‍රීකයන් හා සටන් වැදුණේ ය. මැරතන් හා සලාමිස් හිදී සිදු වූවාක් මෙන් නැවත වරක් සංඛ්‍යාවෙන් අඩු වුවත් ග්‍රීක හමුදාව විසින් විශාල හා බල සම්පන්න පර්සියන් හමුදාව පරාජය කරන ලදි. සර්ක්සෙස් ක්‍රි. පූ. 465 දී මරා දමන ලද අතර ඔහු ගේ පුත් ආටසර්ක්සෙස් ඉන් පසු ව රාජ්‍යයට පත් වුවත් ඔහු ගේ පියා ගේ රාජ්‍ය සමයේ පැවති ශ්‍රී විභූතිය ළඟා කර ගැනීමට ඔහුට නොහැකි විය.

සර්ක්සෙස් ප්ලාටේ වල දී ලබා ගත් පරාජය, පර්සියානු අධිරාජ්‍යයේ බිඳ වැටීමේ ආරම්භය සනිටුහන් කෙළේ ය. තව දුරටත් ව්‍යාප්ත නො වූ එය අභ්‍යන්තර වශයෙන් බිඳ වැටීමට පටන් ගත් අතර ඊ ළඟ ශත වර්ෂය වන විට මහා ඇලෙක්සැන්ඩර් ප්‍රමුඛ ග්‍රීක හමුදාවට පහසුවෙන් යටත් කර ගත හැකි බවට පත් ව තිබුණේ ය.

එවකට කිසිවකු විසින් අනුමාන නො කළ ද, ප්ලාටේහි සටනින් උච්ච අවස්ථාවට පත් එම සංග්‍රාම ව්‍යාපාරය ලෝක ඉතිහාසයේ අතිශය වැදගත් සන්ධි ස්ථානයක් විය. යම් හෙයකින් සර්ක්සෙස් ජයග්‍රහණය කෙළේ නම්, ග්‍රීසිය පර්සියානු බලපෑමට ලක් විය හැකි ව තිබූ අතර නූතන බටහිර චින්තනයේ මූලික පදනම බවට ග්‍රීක නොව පර්සියන් සාහිත්‍යය පත් විය හැකි ව තිබුණි.

තර්මොපයිලෙ මහ සටන 
  

About

BTemplates.com