ලෝක ඉතිහාසය යනු අන් කිසිවක් නොව ශ්‍රේෂ්ට මිනිසුන්ගේ චරිතාපදානයයි ෴ The history of the world is nothing but the biography of great men

Saturday, August 27, 2016

මනුෂ්‍යත්වය හා ස්වභාව ධර්මය අතර සහසම්බන්ධය ගවේශණය කළ ඇරිස්ටෝටල් | (ක්‍රි. පූ. 384-322)

ප්ලේටෝ ගේ ශිෂ්‍යයකු වූ ද, මහා ඇලෙක්සැන්ඩර් ගේ ගුරුවරයා වූ ද, ඇරිස්ටෝටල් ඉතිහාසයේ පහළ වූ ශ්‍රේෂ්ටතම දාර්ශනිකයන්ගෙන් කෙනෙකි. මනුෂ්‍යත්වය හා ස්වභාව ධර්මයේ සෑම අංශයක් ම අතර පවත්නා සහසම්බන්ධතාවය පිලිබඳව පළමුවරට පෘථුල ලෙස ගවේශණය කළේ ඇරිස්ටෝටල් විසිනි. ඔහු කාව්‍ය ශාස්ත්‍රය, තාරකා විද්‍යාව හා ජීව විද්‍යාව මෙන් ම අධ්‍යාත්මික විද්‍යාව, සෞන්දර්ය හා තර්ක ශාස්ත්‍රය පිළිබඳව හදාරා ඒ සම්බන්ධයෙන් දේශන පැවැත්වූයේ ය.

මැසිඩෝනියානු වෙරළ තීරයේ පිහිටි, ග්‍රීසියට අයත් ප්‍රත්‍යන්ත නගරයක් වූ ස්ටැගිරා හි උපත ලත් ඇරිස්ටෝටල් වයස 17 දී ප්ලේටෝ ගේ ශිෂ්‍යයකු බවට පත් විය. පළමු ව ශිෂ්‍යයකු වශයෙන් ද, පසුව ගුරුවරයකු වශයෙන් ද වසර 20 ක කාලයක් ඇතැන්ස්හි පිහිටි ප්ලේටෝ ගේ ශාස්ත්‍රාලයේ ගත කළ හේ ඇලෙක්සැන්ඩර්ට උගැන්වීම සිදු කළේ මේ කාලය තුළ දී ය. ප්ලේටෝ ගේ අභාවයෙන් පසු ව ඇරිස්ටෝටල් එම ශාස්ත්‍රාලය හැර ගියත්, ක්‍රි. පූ. 336 දී මහා ඇලෙක්සැන්ඩර් බලයට පත් වූ පසු නැවත ඇතන්සයට පැමිණියේ ය. මහා ඇලෙක්සැන්ඩර් ගේ අනුග්‍රහය යටතේ ‘ලයිසියම්’ නමින් තමා ගේ ම ශාස්ත්‍රාලයක් පිහිට වූ ඇරිස්ටෝටල්, ක්‍රි. පූ. 336 තෙක් එහි ප්‍රධානත්වය දැරුවේ ය. 


මෙම යුගය තුළ විකාශනය වූ ඇරිස්ටෝටල් ගේ දර්ශනයේ ප්‍රධාන ස්ථානයක් ගත්තේ තර්ක ශාස්ත්‍රය පිලිබඳව ඔහු ඉදිරිපත් කළ මූලික මූලධර්ම 6 යි. එ සේ ම ඒවා අධ්‍යාත්ම විද්‍යාව, භෞතික විද්‍යාව, ආචාර ධර්ම විද්‍යාව, දේශපාලන හා ස්වභාවික විද්‍යාවන් ගේ ද මූලික ධර්මයන් විය. ස්වභාවික විද්‍යා ක්ෂේත්‍රයේ දී ජීව විද්‍යාත්මක ආදර්ශයන් එකතු කිරීම හා ඒවා ක්‍රමාණුකූලව වර්ගීකරණය කළ පළමු පුද්ගලයන් අතුරින් ඇරිස්ටෝටල් එක් අයකු විය. ස්වභාව ධර්මය පාලනය කිරීමට දායක වූ සමතුලිත තාවයන් නොහොත් ස්වභාවික ‘නීති’ හඳුනා ගැනීම හා ඒවා ප්‍රවේශමෙන් විශ්ලේෂණය කිරීම සඳහා ඔහු තුළ පැවති රුචිය මින් පැහැදිලි වේ. පරිපූර්ණ ස්වරූපයන් පිලිබඳ ප්ලේටෝ විසින් උපකල්පනය කරන ලද අතර ඇරිස්ටෝටල් විසින් එය තවදුරටත් සෛද්ධාන්තකරණය කරන ලද්දේ පදාර්ථය යනු පවතින්නක් බැවින් එය ස්වරූපයක් නොමැතිව නොතිබිය හැක්කක් ලෙසය.


ඔහු යෝජනා කළ පරිදි, සියල්ලෙහි පරිසමාත්ම, පිවිතුරු හා පරම ස්වභාවය වන්නේ පරම වික්ඤාණය (Theos) නමින් ඔහු විසින් හැඳින්වූ සහ දෙවියන් ලෙස අප විසින් හඳුනා ගන්නා ප්‍රපංචය යි. 


දේශපාලනයේදී ඔහු විසින් හොඳම පාලන ක්‍රමය ලෙස අනුමත කරන ලද්දේ ප්‍රජාතන්ත්‍රවාදයේ හා රාජාණ්ඩුවේ සංකලනයකි. 
ඇරිස්ටෝටල් දර්ශනය හා විද්‍යාව මෙන් ම වෛද්‍ය විද්‍යාව ද හැදෑරී ය. අධ්‍යාපන ක්‍ෂෙත්‍රයේ විකාශය කෙරහි ඔහු ගේ වූ ප්‍රධාන බලපෑම වූයේ, මිනිස් සබඳතා සහ ඒ වටා බැඳුණ ලෝකයේ අනෙකුත් ප්‍රපංචයන් සමග අධ්‍යයනය කිරීම සඳහා ක්‍රමානුකූල ක්‍රමයක් ඉදිරිපත් කිරීම ය. 

ඇරිස්ටෝටල් ගේ සංකල්පයන් 13 වන ශත වර්ෂයේ දී ශාන්ත තෝමස් ඇක්වයිනාස් විසින් ක්‍රිස්තියානි දේවධර්මය හා සංකලනය කරන ලද අතර 1135-1204 දී මෙයිමොනයිසිස් විසින් යුදෙව් දේව වාදය සමග ද, 1126-1198 දී ඇවරෝස් විසින් ඉස්ලාම් ආගම සමග ද සංකලනය කරන ලදි.


ලයිසියම් ශාස්ත්‍රාලය


Thursday, July 21, 2016

කාන්තා විමුක්තිය වෙනුවෙන් කථා කළ ප්ලේටෝ | (ක්‍රි. පූ. 427-347)

සොක්‍රටීස් ගේ ශිෂ්‍යයන් අතුරින් වැදගත් ම තැනැත්තා වූ ප්ලේටෝ, ඇතන්ස්හි අවසාන රජ වූ කෝඩ්‍රස්ගෙන් පැවත එන පෙරික්ටියොන් හා ඇරිස්ටෝන් දෙපලට පුත් ව ඇතීනියානු රදළ පවුලක, උපන්නේය. 


පෙලොපොනේසියන් යුද්ධයේ දී (ක්‍රි. පූ. 431-404) සටන් කිරීම සඳහා බඳවා ගනු ලැබූ ප්ලේටෝ වයස අවුරුදු 20 දී පෙරලා නිවෙසට පැමිණ සොක්‍රටීස් යටතේ අධ්‍යාපනයේ යෙදුණේ ය. සිය ගුරුවරයා වූ සොක්‍රටීස් මියයන විට වයස අවුරුදු 28 ක් වූ ප්ලේටෝ ඔහු ගේ උගැන්වීම් පිලිබඳව තමා දත් සියලු දේ ලේඛනගත කළේ ය. 

බැබිලෝනියාව, ඊජිප්තුව, ලිබියාව, සහ දකුණු ඉතාලියේ ග්‍රීක යටත් විජිතයන්හි බොහෝ සේ සංචාරය කළ ප්ලේටෝ දේශපාලනයෙන් වැළකී සිටී නමුත් ඔහු ගේ ඥාති සොහොයුරා මෙන්ම අනුප්‍රාප්තිකයා ද වූ ඩියොන් සහ සයිරකියුස්හි ඩියෝනිසියුස් සමග රාජ සභාවේ දාර්ශනිකයා වශයෙන් සේවය කළේ ය. ක්‍රි. පූ. 353 දී ආපසු ඇතන්ස් නගරයට පැමිණි ප්ලේටෝ සිය ශාස්ත්‍රාලය ආරම්භ කළේ ය. එහි දී ඔහු විශේෂයෙන් තෝරාගත් ශිෂ්‍යයන් සුළු පිරිසකට උගැන්වීම කළ අතර ඇරිස්ටෝටල් එහි සිටි ශිෂ්‍යයන් අතරින් එක් අයෙක් විය. 

දාර්ශනික වශයෙන් ගත් කල ප්ලේටෝ සොක්‍රටීස් ගේ උගැන්වීම් තවදුරටත් විස්තෘත කොට පරිපාකයට පත් කළේ ය. ‘ද රිපබ්ලික්’ නම් වූ ග්‍රන්ථයේ ඔහු ආචාර ධර්ම, සදාචාරය සහ විචාර බුද්ධිය සමබරව පවත්නා පරිසමාප්ත රාජ්‍යයක් යෝජනා කළේ ය. සොක්‍රටීස් මෙන් ම ඔහු ද කිසියම් ලබ්ධියක් කරපින්නාගෙන සිටිනවාට වඩා ඥාන ගවේශණය කිරීම පිලිබඳව සැලකිල්ලක් දැක් වූ බව පෙනේ. 

ප්ලේටෝ කාන්තා විමුක්තිය වෙනුවෙන් කථා කළ ආදීතම පුරුෂයන් අතරින් ප්‍රමුඛයෙක් විය. කාන්තාවන්ට රජයේ හා සාමාන්‍ය ජීවිතයේ සම තත්වයක් ලැබිය යුතු බව ඔහු විශ්වාස කළ අතර කාන්තාවන්ට උසස් අධ්‍යාපනය සඳහා වරම් නොතිබූ යුගයක, සමාජයේ වගකීම් දැරීම් සඳහා සූදානම් වීමට අවශ්‍ය සාධකයක් වශයෙන් කාන්තාවන්ට අධ්‍යාපනය ලබා දීමට සිය සහය පල කෙළේය. 

ද රිපබ්ලික් මුල් ග්‍රන්ථයෙහි ශේෂ වූ කොටස්
එසේ ම ඔහු ගේ ශ්‍රේෂ්ට ගුරුවරයා මෙන් ම, විශ්ව සත්‍ය තුළ සදාචාරය හා සාමග්‍රිය ගැබ්ව ඇති බව ප්ලේටෝ විශ්වාස කළේ ය. එසේම සුන්දරත්වය, සත්‍යය හා සත්භාවයේ පරිසමාප්ත ස්වරූපයන් පිළිබඳවත් ඥානය හා ප්‍රඥාව ගවේෂණය තුලින් එම ස්වරූපයන් පහල වන බවත් හේ විශ්වාස කෙළේය.

ක්‍රිස්තු වර්ෂ තුන්වන සියවසේ දී ප්ලෝටිනස් ගේ නායකත්වයෙන් වූ ‘නියෝප්ලා ටොනික්’ ව්‍යාපාරය මගින් ද, පසුව ශාන්ත තෝමස් ඇක්වයිනාස්ගේ කෘතීන් මගින් ද ප්ලේටෝ ගේ අදහස් වලට පුනර්ජීවයක් සපයනු ලැබිණ. මධ්‍යතන යුගයේ දී ක්‍රිස්තියානි දහම පහළ වන විට එහි දාර්ශනික පදනම සැකසීමට මෙම අදහස් මහත් සේ බලපෑවේ ය.

ප්ලේටෝගේ ශාස්ත්‍රාලය

Friday, June 10, 2016

නූතන වෛද්‍ය විද්‍යාවේ ව්‍යුහය ගොඩ නැංවූ හිපොක්‍රටීස් | (ක්‍රි. පූ. 460-375 )

හෙරක්ලිඩිස් නම් වූ ග්‍රීක වෛද්‍යවරයකුට පුත් ව කොස් නම් දූපතේ උපන් හිපොක්‍රටීස්, සිය පියා ගේ අඩිපාරේ යමින් වෛද්‍යවරයකු වීමට උගත්තේ ය. ශතවර්ෂ ගණනාවක් මුළුල්ලේ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම වලට බල පෑ විවිධ පොත් පත් හා ශාස්ත්‍රීය නිබන්ධ 100 කට වඩා ඔහු රචනා කෙළේ ය. හිපොක්‍රටීස් ඔහු ජීවත් වූ කාලයට වඩා බොහෝ ඉදිරියෙන් සිටියේ ය. වෛද්‍ය ප්‍රතිකාර සඳහා මන්ත්‍ර කරුවන්, යක්දෙස්සන් ආදීන් ගේ පිහිට සෙවූ යුගයක, හිපොක්‍රටීස් වෛද්‍ය විද්‍යාව සහ වෛද්‍ය ආචාර ධර්ම පිලිබඳව පොත් පත් රාශියක් රචනා කෙළේ ය. ඔහු ගේ අදහස් ක්‍රිස්තු පූර්ව 4 වන ශත වර්ෂයේ ජීවත් වූ වෛද්‍යවරයකු ගේ මෙන් නොව 20 වන සියවසේ ජීවත් වූවකු තරම් දියුණු තත්වයක වූ බවට සැලකේ. 

ඔහු විසින් පළමු වරට ඉදිරිපත් කරන ලද මූලික අදහසක් වූ, රෝගියකු සුව කිරීමේ දී වෛද්‍යවරයා පොදුවේ මනුෂ්‍ය ස්වභාවය ගැන ද, එක් එක් පුද්ගලයා ගේ හා එක් එක් රෝගයේ ස්වභාවය ද අවබෝධ කර ගත යුතු ය යන්න අද ද සිහිපත් කැරේ. වෙනත් වචන වලින් කිවහොත් යම් විශේෂිත රෝග ලක්‍ෂණ වලට වඩා වෛද්‍යවරයා මනුෂ්‍ය ශරීරයේ සම්පූර්ණ යාන්ත්‍රණය තුළ වූ අන්තර් සබඳතා පිලිබඳව සැලකිල්ලක් දැක් විය යුතු ය යන්න ඉන් අදහස් කැරේ. 

ශරීරයේ බිඳුණු කොටස් සුව වීම සඳහා එය මුල් ආකාරයෙන් සකස් කොට තැබිය යුතු ය යන්න ඔහු අවබෝධ කරගෙන සිටියේ ය. බිඳුණු ස්ථානයේ දෙ පසින් ම බලයක් යොදා කැඩුණු කොටස් එකිනෙක සවි වන විට ක්‍රමයෙන් නිදහස් කළ යුතු ය. වෛද්‍යවරයා සෑම විට ම බිඳුණු ස්වභාවයට වඩා රෝගියා ගේ පූර්ණ ප්‍රතික්‍රියාව කෙරෙහි සැලකිලිමත් විය යුතු බව ඔහු අවධාරණය කොට දැක්වී ය. ව්‍යායාමයෙන් ශක්තිමත් බව ද, අලස කමින් දුර්වල බව ද ලැබෙන බැවින්, මුල් අවදියේ සිට ම ක්‍රියාශීලිත්වය පවත්වා ගත යුතුය යන්න හෙතෙම අවධාරණය කෙළේ ය. ‘අභාවිතය නිසා ක්ෂය වී යාම’ වළක්වා ලීමේ නූතන වෛද්‍යවරුන්ගේ ප්‍රයත්නයන් හි දී මෙම සිද්ධාන්නතය තවමත් භාවිතා කරනු ලබ යි. 

විද්‍යාත්මක වශයෙන් බලන විට හිපොක්‍රටීස් ගේ න්‍යායන් බොහෝ දුරට සීමිත ය. උදාහරණ වශයෙන් ගත් කළ රුධිර සංසරණය පිලිබඳ වූ ඔහු ඉදිරිපත් කළ අදහස් වැරදි ය. කෙ සේ වුවත් බොහෝ විද්‍යාත්මක සොයා ගැනීම් ඔහු ඉදිරි පරපුරට ඉතිරි කොට තැබුවත්, ඉදිරි සියවස් වල විකාශනය වූ වෛද්‍ය විද්‍යාවට න්‍යායික පදනමක් සැපයීමට හා වෛද්‍ය විද්‍යා ක්‍රම සහ කාර්ය පරිපාටි සම්පාදනය කිරීමට ඔහු සමත් විය. සැබවින් ම නූතන වෛද්‍ය විද්‍යාවේ ව්‍යුහාත්මක රාමුව ගොඩ නැංවූයේ හිපොක්‍රටීස් බව බොහෝ දෙනාගේ පිළිගැනීම යි. 


ඔහු විසින් රචිත ‘හිපොක්‍රටීස් දිවුරුම’ අදත් නූතන වෛද්‍ය විද්‍යා ආචාර ධර්ම පද්ධතියේ මුල් ගල ලෙස සැලකේ. මෙම හිපොක්‍රටීස් දිවුරුමෙහි, වෛද්‍යවරයා හා රෝගියා අතර පැවතිය යුතු රහස්‍ය භාවය, තම රෝගියා පිලිබඳ ව වෛද්‍යවරයා ගේ වගකීම, රෝගියා ගේ තරාතිරම නො සලකා ඹ්නෑම කෙනකුට ප්‍රතිකාර කිරීමේ යුතුකම වැනි මූලික ශික්ෂාවන් අඩංගු වේ.

Friday, April 15, 2016

පරමාදර්ශී පාලනයක් පිලිබඳ විශ්වාස කළ සොක්‍රටීස් | (ක්‍රි. පූ. 469-399)

ඇතන්ස් හි උපත ලත් සොක්‍රටීස්, අද බටහිර දර්ශනවාදයේ ප්‍රාරම්භක පියවරුන් වශයෙන් සළකනු ලබන, ග්‍රීසියේ පහළ වූ අනුක්‍රමික මහා දාර්ශනිකයන් තිදෙනාගෙන් පළමුවැන්නා විය. ඔහු ගේ ශිෂ්‍යයකු වූ ප්ලේටෝ පසු ව ඇරිස්ටෝටල් ගේ ගුරුවරයා විය.

මනුෂ්‍යයකු ජීවත් විය යුත්තේ යම් අරමුණක් උදෙසා යයි හෙතෙම විශ්වාස කෙළේ ය. කෙනකු තමා ජීවත් වන වටපිටාව හා අවශේෂ පුද්ගලයන් සමඟ පවත්වන සම්බන්ධතාවය අර්ථකතනය කිරීමේ දී ‘හොඳ සහ නරක’ ඉතා වැදගත් ව බලපාන බව ඔහු විශ්වාස කළේ ය. දේශකයකු වශයෙන් ඔහු තුළ තුබූ බුද්ධි ප්‍රතිභාව මෙන් ම උපහාස රසය ද අනුස්මරණීය වේ. සොක්‍රටීස් පිලිබඳ ව අප දන්නා කරුණු බොහොමයක් අඩංගු වන්නේ ප්ලේටෝ ගේ ‘ඩයලොග්ස්’ නම් කෘතියෙනි. ප්ලේටෝ සහ සොක්‍රටීස් අතර දර්ශනවාදය පිලිබඳ ව ඇති වූ සාකච්ඡා පිලිබඳ ව එහි වාර්තා ගත කොට ඇත. සදාචාරය, ස්වඅවබෝධයෙන් ඇති වන්නක් බවත්, මනුෂ්‍යයා ස්වභාවයෙන් ම අවංක බවත්, පාපය යනු සිය ස්වභාවය දියුණු කරන්නට ගන්නා නොමඟ ගිය උත්සාහයක් බවත් ඔහු විශ්වාස කළේ ය. ඔහු ගේ ප්‍රධාන ආප්තෝපදේශය වූයේ ‘තමන් අවබෝධ කරගන්න’ යන්න යි.

සොක්‍රටීස් විසින් පිලිගන්නා ලද පරිදි පරමාදර්ශී ආණ්ඩුවක් යනු නිසියාකාර ව සූදානම් කරන ලද ප්‍රඥාවන්ත පුද්ගලයන්ගෙන් සමන්විත සමාජයේ යහපත සඳහා කැප වූ පාලනයකි. ‘විද්‍යාත්මක ක්‍රමය’ වර්ධනය කිරීම සඳහා මග හෙළි කළ පරිසරය පිලිබඳ ස්වභාවික සමතුළිතතාවය පිලිබඳ විධිමත් අදහස් රෝපණය කළ පුරෝගාමියකු වශයෙන් ද හෙතෙම සිහි කරනු ලබයි.

ඔහු ස්වාභාවික ලෝකයට පිටුපසින් ඇති තනි, ඒකීය හා ශ්‍රේෂ්ට බලවේගයක් පිලිබඳ අදහස විශ්වාස කෙළේ ය. මෙය සාම්ප්‍රදායික බහු දේවවාදී විශ්වාසයට පටහැනි එකක් වූ අතර, ඇතන්ස් හි තරුණයින් නොමග යැවීමේ චෝදනාව මත සිරභාරයට ගැනීම සඳහා ඔහු ගේ මෙම න්‍යාය හේතුවක් විය. ප්ලේටෝ ගේ ‘ඇපලොජි’ කෘතියෙහි ඔහු ගේ නඩු විභාගය පිලිබඳ ව ද, ‘ෆේඩෝ’ කෘතියෙහි ඔහු සිරගත ව සිටිය දී ශිෂ්‍යයන් සමග පැවැත් වූ සාකච්ඡා පිලිබඳ ව ද විස්තර සඳහන් වේ. සොක්‍රටීස් වරදකරු කළ නඩු තීන්දුවෙන් අනතුරු ව ඔහුට හෙම්ලොක් නම් විෂ වර්ගය පානය කිරීමෙන් දිවි නසා ගැනීමට සලස්වන ලදි. සොක්‍රටීස් ගේ ස්වතන්ත්‍ර ලේඛනයන් දුර්ලභ වුවත් ප්ලේටෝ හා ක්සෙනෝෆොන් (ක්‍රි. පූ. 430-357) ගේ කෘතීන් තුළ ඔහු ගේ ජීවිතය ද දර්ශනය ද ජීවමාන ව පවතී. 

සොක්‍රටීස්ගේ මරණ මංචකය

Wednesday, July 1, 2015

ලෝක ඉතිහාසය නිර්මාණය කළ හිරොඩොටස් | (ක්‍රි. පූ. 485-425 )

පුද්ගලයන් රාශියක් විසින් ලෝක ඉතිහාසය හැඩ ගැස් වූ බව පවසන්නේ නම් එය නිර්මාණය කරන ලද්දේ එක් පුද්ගලයකු විසිනැයි කිව හැකිය. ඉතිහාසය හා එහි මූලික සන්ධිස්ථානයන් වාර්තා ගත කිරීමට හා අගැයීමට නූතන බටහිර ලෝකය විසින් භාවිතා කරන ක්‍රමවේදය වර්ධනය කළේ හිරොඩොටස් ය. චූල ආසියාවේ හැලිකානාසස් හි උපන් හිරොඩොටස් එවක සිටි දුෂ්ට පාලකයකු වූ ලිග්ඩාමිස්ට විරුද්ධ ව කළ විප්ලවයේ දී ප්‍රධාන භූමිකාවක් දැරූ අතර පසු ව ඇතන්ස් වෙත සංක්‍රමණය වූයේ ය. ඔහු තත්කාලීන ඉතිහාසය - විශේෂයෙන්ම ග්‍රීසිය හා පර්සියාව අතර පැවති යුද්ධ පිලිබඳ ව - හා ඊට පෙරකාලීන සිදු වීම් පිලිබඳ ව ක්‍රමානුකූල ව වාර්තාගත කිරීම ආරම්භ කළේ මෙහි දී ය. කාලීන සිදුවීම් පිලිබඳ ව මීට පෙර ද යම් යම් පුද්ගලයන් විසින් වාර්තා කොට ඇතත් ක්‍රමික ව හා විෂය මූලික ව ඓතිහාසික සිදුවීම් වල පැවති අන්තර් සම්බන්ධතාවය අධ්‍යයනය කිරීමට තැත් කළ පළමුවැන්නා ලෙස  හිරොඩොටස් සැලකේ. ඉතිහාසයේ පියා වශයෙන් සැලකෙන හිරොඩොටස් ඊජිප්තුව හා මධ්‍යධරණී කලාපය පුරා සංචාරය කළ අතර එහි දී ස්වකීය මෙන් ම විජාතික සංස්කෘතීන් ද හදාරමින් හැකි උපරිම විශ්වසනීයත්වයෙන් යුතු ව තොරතුරු වාර්තාගත කළේ ය. ඉතිහාසය සිද්ධාන්තකරණයේ දී ඔහු එ වකට ග්‍රීසියේ පැවති සාම්ප්‍රදායික “ස්වර්ණමය මධ්‍යම ප්‍රතිපදාව” යන සංකල්පය භාවිතා කළේ ය. මින් සංකේතවත් වූයේ මධ්‍යස්ථ හා සමබරතාවයේ ඇති යෝග්‍ය භාවය හා පක්‍ෂග්‍රාහී හා අසමබරතාවයේ ඇති විනාශකාරී බව යි. මෙම සිද්ධාන්තයට අනුව ප්‍රකෝපකාරී සර්ක්සෙස් ගේ දෛවොපගත විනාශකාරී පරාජය නොවැළැක්විය හැක්කක් විය.

සිය ජීවිතයේ සැඳෑ සමයේ දී 
හිරොඩොටස් ඉතාලියේ තූරි යන ග්‍රීක ජනාවාසය බිහි කිරීමට දායක වූ අතර ඔහු මිය ගියේ ද එහි දී බව අනුමාන කැරේ.



Wednesday, April 15, 2015

පෙරික්ලීස් | ග්‍රීසිය (ක්‍රි. පූ. 429)

පෙරික්ලීස්
කුළීන පවුලක උපත ලත් පෙරික්ලීස් තුළ මහජනතාව ඇමතීමේ ප්‍රබල සහජ හැකියාවක් තිබුණි. ක්‍රි. පූ. 469 දී ප්‍රජාතන්ත්‍රවාදය නියෝජනය කරමින් දේශපාලනයට අවතීර්ණ වූ ඔහු සිය තරඟ කරු වන තුසීඩිඩ්ස් (ක්‍රි. පූ. 460-400) පරාජය කර ග්‍රීසියේ බලවත් ම නගර-රාජ්‍යය වූ ඇතන්ස් හි පාලකයා බවට පත් වූයේය. සිය රාජ්‍යය ශ්‍රී විභූතියේ උච්චතම ස්ථානය කරා ගෙන යාමට ඔහුට හැකි විය.

පෙරික්ලීස් පුරාතනයේ සිටි ශ්‍රේෂ්ටතම ව්‍යවස්ථාපිත රාජ්‍ය තාන්ත්‍රිකයා වශයෙන් සැලකෙන අතර ඔහු ලබා ගත් ජයග්‍රහණ මාලාව සිත් අලවන සුලු ය. ඔහු ඇතන්ස් හි බල සේනා ලෝකයේ බලවත් ම හමුදාවන්ගෙන් එකක් බවට පත් කළ අතර ඩෙල්පි ආක්‍රමණය, ඉයුබා සහ සමෝස් හි කැරළි මර්දනය ඇතුළු සටන් රාශියකට නායකත්වය දුන්නේ ය. ඔහු පාර්තිනෝන් ඇතුලු විශිෂ්ට ගොඩනැගිලි නිර්මාණ රාශියකින් ඇතන්ස් නගරය විභූතිමත් කළේ ය. ඕනෑ ම අයකුට රජයේ තනතුරක් දැරිය හැකි පරිදි සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් ස්ථාපනය කරන ලද අතර පරිපාලන නිලධාරීන්ට වැටුප් ක්‍රමයක් ද දිලිඳුන් සඳහා සහන දීමනාවක් ද ලබා දෙන ලදි.

පෙරික්ලීස් ගේ ප්‍රියාව වූ මිලටස් හි ඇස්පේසියා (ක්‍රි. පූ. 470-410) සිය රූප සෞන්දර්ය මෙන් ම තීක්‍ෂණ දේශපාලන ඥානය නිසා ප්‍රසිද්ධ වූවා ය. ඇය ශ්‍රේෂ්ට දර්ශනවාදියකු වූ සොක්‍රටීස් (ක්‍රි. පූ. 469-399) ගේ අනුග්‍රාහිකාවක් වූ අතර පෙරික්ලීස් ගේ පාලනයේ දී අගනා සහකාරියක් වූවා ය. පෙරික්ලීස් ඇය ගෙන් ලත් සුළු පටු නො වූ බලපෑමට පින් සිදුවන්නට ඇතන්ස් එහි ස්වර්ණමය යුගයට එළැඹුණ අතර නැගෙනහිර මධ්‍යධරණී කලාපයේ කලා හා සංස්කෘතික කේන්ද්‍රස්ථානය බවට පත් විය.

ඇතන්ස්හි මෙම පිබිදීමට තවත් හේතුවක් වූයේ සිය එදිරිවාදී නගර රාජ්‍යයක් වූ ස්පාටා ප්‍රධාන කොට ගත් පෙලොපොනේසියන් රාජ්‍ය සන්ධානය සමග ක්‍රි. පූ. 445 දී ඔවුන් ඇති කර ගත් සාම ගිවිසුම යි. කෙ සේ වුවත් ක්‍රි. පූ. 431 දී ස්පාටාව විසින් මෙම ගිවිසුම කඩ කරමින් ආරම්භ කළ ගැටුම දශක තුනක් ඔස්සේ විහිදුණු පොලෙපනේසියන් යුද්ධය බවට පත් විය. අනතුරු ව ඇතන්ස් රාජ්‍යයට පෙරික්ලීස් යටතේ පැවති එම ශ්‍රී විභූතිය යළි කිසි දිනෙක අත් කැර ගත නො හැකි විය.

ඇස්පෙසියා


පාර්තිනොන්

Saturday, April 4, 2015

සර්ක්සෙස් I | පර්සියාව (ක්‍රි. පූ. 519 - 465)


 සර්ක්සෙස් I
ක්‍රි. පූ. 6 වන සියවසේදී මහා සයිරස් රජු පර්සියන් අධිරාජ්‍යය ගොඩ නැංවූ අතර ක්‍රි. පූ. 521 දී සිහසුනට පත් ඔහු ගේ මුණුබුරු ඩේරියස් (ක්‍රි. පූ. 558-486) පර්සියන් බලය ඊජිප්තුව පුරා විහිදුවමින් ෆිනීෂියානු බළ ඇණි ද තම සේනාවට එක්කර ගත්තේ ය. ඔහු ගේ ඊ ළඟ ඉලක්කය වූයේ ග්‍රීසියේ නගර-රාජ්‍යයන් අතර පැවති භේද භින්නතාවය ප්‍රයෝජනයට ගෙන එ රට ජය ගැන්ම යි. එහෙත් ඩේරියස් ගේ ප්‍රහාරයන්ට එරෙහි ව සියලු වාද භේදයන් අමතක කර එක්සත් වූ එම රාජ්‍යයන් විසින් ඔහු ගේ හමුදාව පලවා හරින ලදි. පර්සියානු හමුදාවන්ට වඩා සංඛ්‍යාවෙන් අඩු වුවත් මනා පුහුණුවක් ලබා තිබූ ග්‍රීක හමුදාව ක්‍රි. පූ. 490 දී ‘මැරතන් හි මහ සටනින්’ පර්සියන් හමුදාව පරාජය කෙළේ ය.

ඊට දස වසකට පසු එ නම් ක්‍රි. පූ. 480 දී ඩේරියස් ගේ වැඩි මහල් පුත් සර්ක්සෙස් I, වඩා විශාල හමුදාවක් සංවිධානය කොට නාවික හමුදා ඒකකයන් ද සහාය කරගෙන මිලියන 2.5 ක බල සේනා සහිත ව ග්‍රීසිය බලා ගමන් කළේ ය. ඔහු ස්පාටා හි රජු වන ලෙනිඩාස්, තර්මොපයිලෙ යන ස්ථානයේ දී සම්පුර්ණයෙන් යටත් කර ගෙන ග්‍රීක හද බිම බලා පිටත් විය. එහෙත් ක්‍රි. පූ. 480 සැප්තැම්බර් 23 වන දා උපායශීලී ව පර්සියන් හමුදා සලාමිස් නම් දූපත අසළ පටු සමුද්‍ර සන්ධියකට කොටු කරගත් ග්‍රීකයෝ ඔවුන් පරදවා විනාශ කර දැමූ හ. ශීත සෘතුව තුළ නැවතත් හමුදාව රැස් කළ සර්ක්සෙස් ආපසු පැමිණ ප්ලාටේ මිටියාවතේ දී ග්‍රීකයන් හා සටන් වැදුණේ ය. මැරතන් හා සලාමිස් හිදී සිදු වූවාක් මෙන් නැවත වරක් සංඛ්‍යාවෙන් අඩු වුවත් ග්‍රීක හමුදාව විසින් විශාල හා බල සම්පන්න පර්සියන් හමුදාව පරාජය කරන ලදි. සර්ක්සෙස් ක්‍රි. පූ. 465 දී මරා දමන ලද අතර ඔහු ගේ පුත් ආටසර්ක්සෙස් ඉන් පසු ව රාජ්‍යයට පත් වුවත් ඔහු ගේ පියා ගේ රාජ්‍ය සමයේ පැවති ශ්‍රී විභූතිය ළඟා කර ගැනීමට ඔහුට නොහැකි විය.

සර්ක්සෙස් ප්ලාටේ වල දී ලබා ගත් පරාජය, පර්සියානු අධිරාජ්‍යයේ බිඳ වැටීමේ ආරම්භය සනිටුහන් කෙළේ ය. තව දුරටත් ව්‍යාප්ත නො වූ එය අභ්‍යන්තර වශයෙන් බිඳ වැටීමට පටන් ගත් අතර ඊ ළඟ ශත වර්ෂය වන විට මහා ඇලෙක්සැන්ඩර් ප්‍රමුඛ ග්‍රීක හමුදාවට පහසුවෙන් යටත් කර ගත හැකි බවට පත් ව තිබුණේ ය.

එවකට කිසිවකු විසින් අනුමාන නො කළ ද, ප්ලාටේහි සටනින් උච්ච අවස්ථාවට පත් එම සංග්‍රාම ව්‍යාපාරය ලෝක ඉතිහාසයේ අතිශය වැදගත් සන්ධි ස්ථානයක් විය. යම් හෙයකින් සර්ක්සෙස් ජයග්‍රහණය කෙළේ නම්, ග්‍රීසිය පර්සියානු බලපෑමට ලක් විය හැකි ව තිබූ අතර නූතන බටහිර චින්තනයේ මූලික පදනම බවට ග්‍රීක නොව පර්සියන් සාහිත්‍යය පත් විය හැකි ව තිබුණි.

තර්මොපයිලෙ මහ සටන 
  

About

BTemplates.com