ලෝක ඉතිහාසය යනු අන් කිසිවක් නොව ශ්‍රේෂ්ට මිනිසුන්ගේ චරිතාපදානයයි ෴ The history of the world is nothing but the biography of great men

Saturday, May 12, 2018

රෝමය නිල අධිරාජ්‍යයක් කළ ඔගස්ටස් සීසර් (ඔක්ටේවියන්) | ක්‍රි. පූ. 63 - ක්‍රි. ව. 14

රෝම අධිරාජ්‍යයේ දේශසීමා පුළුල් කළ ජුලියස් සීසර් රෝමයේ පළමු පූර්ණ බලධාරි පාලකයා බවට පත් විය. එහෙත් ඔහුගේ බෑණනුවන් වන ඔක්ටේවියන් ක්‍රි. පූ. 27 දී බලයට පැමිණෙන තෙක් රෝමය නිල වශයෙන් අධිරාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් වී නොතිබුණි. ඔක්ටේවියන් උපන්නේ, කේයස් ඔක්ටේවියස් සහ ඇටියා යුවලට පුත් ව ය. ඔක්ටේවියන්ගේ මව වූ ඇටියා, ජූලියස් සීසර්ගේ සහෝදරියක වන ජූලියාගේ දියණියක වූවා ය. සිය මාමණ්ඩිය ඝාතනයට ලක්වන විට ඔහුගේ වයස අවුරුදු 30 ක් විය.

ජූලියස් සීසර් විසින් සිය අනුප්‍රාප්තිකයා ලෙස ඔක්ටේවියන් නම් කර තිබුණි. එහෙත් සිය මාමණ්ඩියගේ අනුගාමිකයන් මෙන් ම එදිරිවාදීන්ගේ ද විරෝධතාවයන්ට මුහුණ දීමට ඔක්ටේවියන්ට සිදු විය. අනතුරුව ත්‍රියාධිපත්‍යයක හෙවත් ත්‍රිපුද්ගල පාලන කමිටුවක සාමාජිකයෙක් වශයෙන් රෝමය පාලනය කිරීමට ඔක්ටේවියන් එකඟ විය. එහි අනෙකුත් සාමාජිකයන් වූයේ මාකස් ලෙපිඩස්, (ක්‍රි. පූ. ?-13) හා සීසර්ගේ විශ්වාසවන්ත ම සෙනෙවියකු වූ මාක් ඇන්ටනි ය. (ක්‍රි. පූ. ? - 42). සීසර් ඝාතනය සඳහා කුමන්ත්‍රණය කළවුන් අතරින් දෙදෙනකු වූ ගේයස් කැසියස් හා මාකස් ජූනියස් බ්‍රෑටස් විසින් ඇති කරන ලද සිවිල් යුද්ධයකට මුහුණ දීමට මෙම ත්‍රියාධිපත්‍යයට සිදු විය. ඔවුන්ට අවශ්‍ය වූයේ රෝමයේ සමූහාණ්ඩුව නැවත ස්ථාපනය කිරීමට යි. ඔවුන්ගේ පරාජයෙන් පසු ත්‍රිපුද්ගල පාලන කමිටුව, අධිරාජ්‍යය භූගෝලීය වශයෙන් කොටස් තුනකට වෙන් කොට පාලනය කිරීමට කටයුතු කළ අතර ඔක්ටේවියන්ට යුරෝපය ද, ලෙපිඩස්ට අප්‍රිකාව ද, ඇන්ටනිට ඊජිප්තුව ද පාලනය සඳහා හිමි විය.

දේශීය රාජාණ්ඩුව රෝම පාලනයට නතු වූ ඊජිප්තුවේ අගනුවර වූ විශ්වදේශී ඇලෙක්සැන්ඩ්‍රියාව සිය බල කේන්ද්‍රස්ථානය වශයෙන් ස්ථාපනය කරගත් ඇන්ටනි ඊජිප්තුවේ රැජින වූ ක්ලියෝපැට්‍රා (ක්‍රි. පූ. 69-30) සමඟ පෙමින් වෙලී ඇය විවාහ කර ගත්තේ ය. සිය අනුප්‍රාප්තිකයන් වශයෙන් දරු තිදෙනා නම් කළ ඇන්ටනි විශාල වියදමක් දරමින් සිය බිරිඳට නිරන්තරයෙන් තිළිණ ප්‍රදානය කෙළේ ය. මේ හේතුව නිසා, ඔහු ත්‍යාගයක් වශයෙන් රෝමය ඇයට ප්‍රදානය කිරීමට යන බවට කටකථාවක් ද පතළ විය. මේ බව සැලවුණු ඔක්ටේවියන් ඉන් කිපී වහා ම ඇන්ටනිට විරුද්ධව යුද ප්‍රකාශ කෙළේ ය. දෙපාර්ශ්වය ක්‍රි. පූ. 31 දී ඇක්ටියම් සටනේ දී මුහුණට මුහුණ හමු වූ අතර එහි දී ඇන්ටනි සහ ක්ලියෝපැට්‍රාගේ සේනාවෝ පරාජයට පත් වූ හ. ශේෂ වූ සේනාව ද රැගෙන ඔවුන් ඊජිප්තුවට පලා යන අතර ඔක්ටේවියන් ඔවුන් පසුපස ලුහු බැඳ ගියේ ය. තම අභිප්‍රාය ඉටු නොවන බව අවබෝධ කරගත් ඇන්ටනි සහ ක්ලියෝපැට්‍රා ක්‍රි. පූ. 30 දී දිවි නසා ගත් හ.

ක්‍රි. පූ. 29 දී පෙරළා රෝමයට පැමිණි ඔක්ටේවියන්, ඔගස්ටස් සීසර් යන නව නාමය ලබා ගනිමින් තමා රෝමයේ අධිරාජයා බවට ප්‍රකාශයට පත් කෙළේ ය. ඔහුගේ පාලනය යටතේ රෝම අධිරාජ්‍යය දැඩි විනයකට යටත් කරන ලද අතර එය මධ්‍යගත ව පාලනය වන රාජාණ්ඩුවක් බවට පත් විය. හේ ලතින් භාෂාව සහ රෝමානු වර්ණ මාළාව සමස්ත යුරෝපයේ ම සම්මතය බවට පත් කෙළේ ය. ඔක්ටේවියන්, ඔගස්ටස් සීසර් බවට පත් වීමට පෙර ද රෝමය අධිරාජ්‍යයක් වශයෙන් නාමික ව පැවතිමුත්, එය අධිරාජ්‍යයක් වශයෙන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලද්දේ ඔගස්ටස් විසිනි. ඉන් අනතුරු ව එළැඹි ලතින් බසින් ‘පැක්ස් රොමානියා’ ලෙස හඳුන්වනු ලබන සාමකාමී සමය ලොව පුරා බල පැවැත්වුණේ ඔහුගේ රාජ්‍ය කාලය තුළ දී ය.

බලසම්පන්න කේවල නායකත්වයක් යටතේ එක් සේසත් වූ රෝමය සංස්කෘතික වශයෙන් හා වාණිජමය වශයෙන් අතිශය සමෘද්ධිමත් භාවයකට පත් විය. කලාව හා සාහිත්‍යය රෝම ජන ජීවිතයේ වැදගත් අංගයක් බවට පත් වූ අතර රෝම නගරයේ මෙන් ම සමස්ත යුරෝපය පුරා, මංමාවත්, පාලම්, වාරිමාර්ග, රංගමණ්ඩප, තට්ටු නිවාස හා මහජන ගොඩ නැගිලි ආදිය ඉදිකිරීම සඳහා යෝධ ව්‍යාපෘති බිහි වන්නට විය. ‘ගඩොලින්’ තැනූ රෝමයක් උරුමයෙන් ලත් ඔක්ටේවියන් ‘කිරිගරුඬින්’ තැනූ රෝමයක් ඉතිරි කොට ගිය බවට කියමනක් තිබේ.




1 comment:

  1. දිගු ඉතිහාස කතාවක් කෙටියෙන් හා සරලව විස්තර කර තිබෙනවා. රසවත් ලිපියක්.

    ReplyDelete

About

BTemplates.com