ලෝක ඉතිහාසය යනු අන් කිසිවක් නොව ශ්‍රේෂ්ට මිනිසුන්ගේ චරිතාපදානයයි ෴ The history of the world is nothing but the biography of great men

Thursday, February 9, 2012

හෝමර් (ගී‍්‍රසිය - කි‍්‍ර. පූ. 850)

හෝමර්
හෝමර් කි‍්‍ර. පූ. 9 වන සියවසේ ගී‍්‍රසියේ විසූ අන්ධ කවියකු විය. ඔහු මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ සදා නොනැසෙන මහා වීර කාව්‍ය දෙකක් නිර්මාණය කළේ ය. මේ හැරුණු විට ඔහු පිලිබඳව වෙනත් තොරතුරු වැඩි යමක් දැනගන්නට නැත. ඔහු සමහරවිට සංචාරක කවියකු විය හැක. සමහර විට ගී‍්‍රක නගර රාජ්‍යයක රාජ සභාවේ කථකයකු වූවා විය හැක. හෝමර් ගේ යනු ඔහු ගේ නමට බැර වූ කෘතීන් විස්තර කිරීමට නිර්මාණය කරන ලද මනඃකල්පිත චරිතයක් ය යන්න පවා ඇතැමෙක් විශ්වාස කරති.

හෝමර් ජීවත් වූවා යැයි විශ්වාස කැරෙන ශත වර්ශයේ මහා වීර කාව්‍යයන් දෙකක් බිහි විය. ගී‍්‍රක සාහිත්‍යයේ බිහි වූ එය ඉලියඩ් සහ ඔඩිසි යන කාව්‍යද්වය යි. ට්‍රෝජන් යුද්ධය පසුබිම් කර ගෙන නිර්මාණය කරන ලද මෙම කාව්‍යයන් විශිෂ්ට සාහිත්‍ය කෘතීන් වශයෙන් ශත වර්ෂ ගණනාවක් තිස්සේ තවමත් නොනැසී පැවතීමට තරම් බල සම්පන්න විය. ඉලියඩ් කාව්‍යයෙන් කියවෙනුයේ පැහැරගත් ට්‍රෝජන් කාන්තාවක් වන බ‍්‍රයිසියස් සම්බන්ධයෙන් ඇචිලිස් ඔහු ගේ අණදෙන නිලධාරි ආගමෙනන් සමග ඇතිකර ගත් දබරය යි. ඇචිලිස් ට්‍රෝජන් වරුන් හා යුද්ධ කිරීම ප‍්‍රතික්‍ෂෙප කළ ද, ඔහු ගේ මිතුරා වන පැට්‍රෝකලස්, ට්‍රෝජන් ජනරාල් වරයකු වන හෙක්ටර් විසින් මරා දමනු ලැබූ විට, සිය මිතුරා මරා දැමූ පලිය ගැනීමට ඔහු ට්‍රෝජන් වරුන් හා යුද වැදුණේ ය.

හෝමර් සිය කාව්‍යයන් ගායනා කරමින්
ඔඩිසි කථාන්තරය පදනම් වී ඇත්තේ ඔඩිසියස් විසින් දස වසක් මුළුල්ලේ කරන ලද සංචාරය හා ඔහුට මුහුණ පෑමට සිදු වූ විශාල යෝධයන්, රාක්ෂයන් හා මායාකාරියන් පිලිබඳව ය. ඔහු ආපසු සියරට වන ඉතාකා දේශයට පැමිණි විට දක්නට ලැබෙන්නේ ඇතැමුන් සිය බිරිඳ වැන්දඹුවක් බවට පත් ව ඇතැයි ඇයට ඒත්තු ගන්වමින් ඇය ගේ සිත දිනා ගැනීමට උත්සාහ කරමින් සිටින අයුරු යි. ඔවුන් පලවා හැරීමට ඔහුට සිදු විය. අවසානයේ දී ඔඩිසියස් ඉතාකා දේශයේ සිහසුන ද දිනා ගෙන පෙනිලෝප් හා යළි එක් වෙයි.

හෝමර් විසින් රචනා කරන ලදැයි කියැවෙන තවත් කෘති ඇතත්, ඔහු පිළිබඳ සැබෑ උරුමය රඳා පවතින්නේ ඉලියඩ් හා ඔඩිසිස් කාව්‍යයන් ගෙන් ආභාසය ලැබ ලෝක සාහිත්‍යයට එක් වූ ගිණිය නොහැකි තරම් නිර්මාණයන් සහ ඔහු විසින් නිර්මාණය කරන ලද අපූර්ව චරිත හා මිථ්‍යා ප‍්‍රබන්ධයන් තුළ ය.
 
ඔඩිසි සිතුවමට නැඟුණු අවස්ථාවක්


5 comments:

  1. වටිනා සටහන් සහිත බ්ලොග් එකක්..

    අහම්බෙන් තමා අද මේක දැක්කේ.. තාම මේ පෝස්ට් එක විතරය බැලුවේ.. අනිත් ඒවත් බලන්නෝන.. අදින් පස්සේ දිගටම එයි මම...

    ජය වේවා...!!


    ප.ලි - කමෙන්ට් කරනකොට වැටෙන අර කෝඩ් එක අයින් කරන්න පුළුවන් නම් කමෙනට් කකරන්න ලේසියි...

    ReplyDelete
  2. අගේ ඇති ලිපියක්.., මේ අය ගැන වෙනත් භාශා වලින් ලිපි තිබුනට සිංහලෙන් තියෙන ලිපි අඩුයි..! දිගටම ලියන්න.!
    ජය!

    ReplyDelete
  3. @සෝරෝ - @ලිෂාන්  ඔබේ අදහස් අපට සවියක්. ලෝ ඉතිහාසය වෙනස් කළ තවත් බොහෝ චරිතයන් ගැන ලිවීමට අපේක්ෂා කරනවා. අපත් එක්ක දිගටම රැ‍‍ඳෙමින් ඔබේ අදහස් කීවොත් ඉමහත් ශක්තියක් වේවි!

    ReplyDelete
  4. ඇත්තටම මෙවැනි ලිපි පලවීම බෙහෙවින් අගය කර යුතුයි..
    දිගටම ලියන්න දිරිය ලැබේවා!!!
    ජය ශ්‍රී!!!

    ReplyDelete
  5. හෝමර් කව්ද කියල හොයන කොට මේක දැක්කේ... බොහොම ස්තුතියි සිංහලෙන් තොරතුරු බෙදාදෙනවාට...

    ReplyDelete

About

BTemplates.com