ක්‍රි. පූ. 300 ට පමණ පෙර, වර්තමානයේ ඉන්දියාව ලෙස හඳුනාගනු ලබන ප්‍රදේශයේ මෞර්ය වංශිකයකු ව උපන් අශෝක රජු ක්‍රි. පූ. 273 සිට 232 දක්වා මගධ රාජ්‍යය පාලනය කෙළේ ය. පසුකාලීන ව ඔහු ගේ අධිරාජ්‍යය වර්තමාන ඉන්දියාව (දකුණු කොටස හැර) පකිස්ථානය, බංගලාදේශය, හා ඇෆ්ඝනිස්ථානයේ කොටසක් දක්වා පැතිරිණ. ක්‍රි. පූ. 261දී ඔහු ගේ හමුදාව රුධිරයෙන් නැහැවුණු යුද්ධයකින් කාලිංග දේශය විනාශ කළ අතර මෙහි දී මිනිස් ජීවිත 200,000 ක් පමණ අනතුරට පත් විය. මෙම දුක්ඛ දායක විනාශයෙන් කළකිරීමට පත් අශෝක අධිරාජයා එවන් විනාශයක් මැදින් ලත් ජයග්‍රහණයක කිසිදු වටිනාකමක් නොමැති බව වටහා ගත්තේ ය. අවසන බුදුදහම වැළඳ ගත් හෙතෙමේ ජාතික ප්‍රතිපත්තියක් ලෙස දිග්විජය අත් හළේ ය. සත්ව හා මිනිස් බිලි පූජාවන් තහනම් කළ හේ සිය හමුදාව ආරක්‍ෂක භූමිකාවකට පමණක් සීමාකොට පවත්වා ගත්තේ ය.
අශෝක හෘදය සාක්‍ෂියට එකඟ පුද්ගලයකු බවට පත් වූ අතර ඇතැම් විට ‘සත්‍යාවබෝධය’ ලත් ලෝකයේ ප්‍රථම මහේශ්වරයා ඔහු විය හැකි ය. පැවත ආ ක්‍රමය වෙනස් කළ ප්‍රථම පාලකයා ද ඇතැම් විට ඔහු විය හැක. දිග් විජය පදනම් වූ ආක්‍රමණශීලී විදේශ ප්‍රතිපත්තියක ප්‍රචණ්ඩ භාවයෙන් අත් මිදීමට අමතර ව හේ සිය දේශීය ප්‍රතිපත්තීන් ද ප්‍රතිසන්ධානගත කෙළේ ය. ඒ අනුව ඔහු රටේ පොදු සේවා ව්‍යාපෘතීන් ආරම්භ කළ අතර, සිය පාලනය යටතේ වූ ජනතාව ගේ සුභ සාධනය සඳහා කටයුතු කරන ආයතන ද පිහිටුවී ය.
No comments:
Post a Comment