19 වන ශතවර්ෂයට පෙර ලෝකයේ මිනිස් හස්තයකින් බිහි වූ ශ්‍රේෂ්ටතම ඉංජිනේරුමය ව්‍යාපෘතිය වූ චීන මහා ප්‍රාකාරය පිලිබඳ අදහස පහළ වී එහි වැඩ කටයුතු ආරම්භ කළ පුද්ගලයා ෂි හුවාන් ටී ය. ලෝකයේ වැඩි ම ජනගහනයක් සිටින චීනය පළමු වරට එක්සේසත් කළ නායකයා ද ඔහු විය. ඔහු චීන ඉතිහාසයේ ප්‍රථම අධිරාජයා වශයෙන් සැලකේ.
රෝම අධිරාජ්‍යයේ ස්වර්ණමය අවධියට පෙර හා පසු යුරෝපය පැවතියේ යම් සේ ද, චීනය ද දේශපාලන වශයෙන් බෙදුණු, එකිනෙකාට රැහැනි වූ යුද නායකයින් විසින් පාලනය කරනු ලැබූ වැඩවසම් නගර රාජ්‍ය රාශියකින් සම්පිණ්ඩනය වී තිබිණ. මෙම රාජ්‍යයන් එක්සත් වූ යේ චෞ වංශිකයන් ගේ සමයේ බිහි වූ පොදු සංස්කෘතිය හේතු කොටගෙන වූ අතර එහි සම්භවය සිදු වූයේ ක්‍රි. පූ. 770 ට පසු යැංසි ගං මිටියාවතේ ය. එමගින් චීනයේ සෙසු ප්‍රදේශ සියල්ලකට ම සංස්කෘතික නො එසේ නම් දේශපාලනික වශයෙන් බලපෑමක් සිදු විය.
මේ කාලය තුළදී කොන්ෆියුසියස් (කුං ෆු-ත්සු) ගේ උගැන්වීම් ද චීන සංස්කෘතිය වෙත දැවැන්ත බලපෑමක් එල්ල කෙළේ ය. මිලියන 5.2 ක ජනතාවක් විසින් තවමත් ආගමක් ලෙස අදහනු ලබන කොන්ෆියුසියස් ධර්මයෙන් අවධාරණය කැරුණේ ජාතික මට්ටමින් මෙන් ම පෞද්ගලික මට්ටමින් ද අවිරෝධී හා සාමකාමී සමාජ ක්‍රමයක් තිබිය යුතු බව ය. කෙ සේ වෙතත් ඔහු ගේ මරණින් පසු චීනය කැබලිවලට කැඩී ගොස් පසමිතුරු රාජ්‍ය සමයකට (403-221) අවතීර්ණ විය.
මෙම පසමිතුරු සමය ක්‍රි. පූ. 221-210 චින් රාජවංශය පැමිණීමත් සමග ම නිමාවට පත් වූ අතර එම කාල පරිච්ඡේදයේ දී ෂි හුවාන් ටී ප්‍රථම වරට චීනය එක්සේසත් කිරීමට සමත් විය. චීනයට මධ්‍යම ආණ්ඩුවක් හඳුන්වා දුන් ඔහු ජනසංගණනයක් ද පැවැත් වී ය. රටේ කාසි භාවිතය, ලිඛිත භාෂාව, නීතිය, හා කිරුම් මිණුම්, ප්‍රමිතිකරණය කෙළේ ය. එහෙත් ඔහුගේ දුර්වලතාවයක් වූයේ දයා විරහිත ඒකාධිපතියකු ලෙස ක්‍රියා කරමින් කොන්ෆියුසියානු ධර්මය චීනයෙන් අතු ගා දැමීමට උත්සාහ කිරීම යි. එතෙකුදු එය සාර්ථක වූයේ අර්ධ වශයෙනි.
සිය පාලනය වඩාත් ශක්තිමත් කිරීමේ හා මධ්‍යම ආසියාවේ මොන්ගෝලියානුවන්ගෙන් තම රට ආරක්‍ෂාකර ගැනීමේ අරමුණින් ඔහු චීන මහා ප්‍රාකාරය ගොඩනැංවීමට නියම කෙළේ ය. නිත්‍ය නේවාසික මුරකරුවන් රැඳවූ ස්ථිර මුර කුළුණු වලින් සමන්විත, සැතපුම් 1500 ක් දිගින් යුත් මේ මහා යෝධ ප්‍රාකාරය හේතුවෙන් එක්සත් චීනයට නො නැසී පැවතීමට හැකි වූයේ ය.
ෂී හුවාන්ගේ ඇවෑමෙන් චීනයේ බලයට පත් වූයේ හන් රාජවංශයයි. ඔවුහු ෂි ගේ මධ්‍යම ආණ්ඩු ක්‍රමය දිගට ම පවත්වාගෙන ගිය අතර කොන්ෆියුසියානු ධර්මය නැවත ස්ථාපිත කළ හ. හන් රාජවංශය විසින් චීනයේ මැන්ඩරියානු සමාජ හා දේශපාලන ක්‍රමය ස්ථාපනය කරන ලද අතර එය චීන සමාජයේ මූලික පදනම ලෙස ෂින් (මංචු) රාජවංශය (1644-1912) යටතේ පවා ක්‍රියාත්මක වෙමින් 1947 දී කොමියුනිස්ට්වාදීන් දේශපාලන බලය අල්ලා ගන්නා තුරු ම අඛණ්ඩ ව පැවතිණ.
No comments:
Post a Comment