ලෝක ඉතිහාසය යනු අන් කිසිවක් නොව ශ්‍රේෂ්ට මිනිසුන්ගේ චරිතාපදානයයි ෴ The history of the world is nothing but the biography of great men

Wednesday, February 22, 2012

පර්සියානු අධිරාජ්‍යය නිර්මාණය කළ මහා සයිරස් | Cyrus the Great | පර්සියාව (ක්‍රි. පූ. 558-528)

මහා සයිරස්
ඉතිහාසය පුරා පැවති මහා අධිරාජ්‍යයන් බොහෝ විට වැදගත් වන්නේ ඒවායෙන් සිදු වූ දේශපාලනික බලපෑම් වලට වඩා ඒවායෙන් උරුම වූ සංස්කෘතික අභාසයන් නිසා ය. හැම විට ම අධිරාජ්‍යයක පවත්නා දේශපාලන බලය යම් කාලයකට පසු බිඳ වැටේ. එහෙත් එයින් ඇති වන භාෂාව, කලාව, සංස්කෘතිය, චාරිත්‍ර වාරිත්‍ර පිලිබඳ ආභාසයන් ශත වර්ෂ ගණනාවක් පුරා නොනැසී පවතී.

මහා සයිරස් විසින් නිර්මාණය කරන ලද පර්සියානු අධිරාජ්‍යය, ඉතිහාසය පුරා බිහි වූ ආදීතම ශ්‍රේෂ්ට අධිරාජ්‍යයන් අතරට ගැනෙන අතර, එය නිරිතදිග ආසියාවේ හා නැගෙනහිර මධ්‍යධරණී ප්‍රදේශයේ ඇති වූ වැදගත් ම අධිරාජ්‍යයන්ගෙන් එකකි. ඔහු පර්සියානු රදළ වංශිකයකු වන කැම්බිසස් ගේ සහ මීඩියා හි රජ වූ ඇස්ට්යේජස් ගේ දියණිය වූ මැන්ඩේන් කුමරිය ගේ පුත්‍රයා විය. ජනප්‍රවාදයට අනුව ඇස්ට්යේජස් රජු සිය මුනුපුරා මුළු ආසියාවේ ම පාලකයා වන බවට සිහිනෙන් දුටුවේ ය. එ බැවින් සයිරස් කුඩා කාලයේ ම මරා දැමීමට ඔහු තැත් කළේ ය. එහෙත් ඉන් ගැලවුණු සයිරස් තරුණ වයසට පැමිණ සිය මුත්තණුවන් හා සටන් කොට පරදවා ලූයේ ඔහු දුටු සිහිනය සැබෑ කරමිනි. ලිඩියන් අධිරාජ්‍යය යටත් කළ සයිරස් බැබිලෝනියාව ජය ගත්තේය. චූල ආසියාවේ වූ ග්‍රීක නගර සියල්ල අල්ලා ගත්තේ ය. බයිබලයේ සඳහන්කර ඇති අන්දමට (II Chronicles 36:22-23 හා Ezra1:1-4) ඔහු පර්සියාවේ සිර කර ගෙන සිටි හීබ්‍රෑ ජනතාව නිදහස් කෙළේ ය.

"සයිරස්ගේ හිස ටොමිරිස් රැජින වෙත ගෙන ඒම" සිතුවම
සයිරස් අධිරාජ්‍යයා ගේ මරණය සිදු වන විට, නූතන ඇෆ්ඝනිස්ථානයේ හින්දුකුෂ් කඳු වැටියේ සිට ඉන්දු ගංගාව හා මධ්‍යධරණියේ වෙරළ දක්වා පැතිරුණ අධිරාජ්‍යයක් නිර්මාණය වී තිබිණ. ඔහු ගේ අනුප්‍රාප්තිකයින් ග්‍රීකයන් සමඟ ලෝක ඉතිහාසය වෙනස් කළ තරඟයකට මුහුණ දුන්නේ මෙම මධ්‍යධරණී ප්‍රදේශයේ දී ය.

සයිරස් ගේ ජයග්‍රණයන් තුළින් පර්සියාවේ පැවති සරු සාර සංස්කෘතිය එ කල සංවර්ධිත ව පැවති රටවල් බොහොමයකට පැතිර ගියේ ය. සිතියන් මාස්ගෙටේට එරෙහි ව මෙහෙය වූ අවසාන සටනේ දී සයිරස් ගේ හමුදාවන් පරාජයට පත් වූ අතර එහි දී ඔහු මැරුම් කෑවේ ය. සයිරස් ගේ අවසාන පරාජය සුප්‍රකට බරොක් සිත්තරකු වූ පීටර් පෝල් රියුබන් (1577-1640) විසින් සයිරස්ගේ හිස ටොමිරිස් රැජින වෙත ගෙන ඒම යන සිතුවමින් අමරණීයත්වයට පත් කළේ ය.

සයිරස්ගේ සොහොන් කොත

Tuesday, February 21, 2012

සංසාර චක්‍රය බිඳ හෙලීමේ මග සොයා ගත් ගෞතම බුදුන් වහන්සේ | ඉන්දියාව (ක්‍රි. පූ. 563 - 483)

ලෝකයේ විශාල ශ්‍රාවකයන් රැසක් සිටින ඉතා සංවිධානය වූ ආගම් අතුරින් යුදෙව් සහ හින්දු ආගම් දෙකෙහි මූලයන් බොහෝ ඈත අතීතයට දිවෙන අතර ඒවායේ ශාස්තෘවරුන් පිලිබඳව නිශ්චිතව දැනගන්නට නැත. අනෙක් ආගම් තුන එනම් බුද්ධාගම, ක්‍රිස්තියානිය, සහ ඉස්ලාම් ආගම නිර්මාණය කරන ලද්දේ ඓතිහාසික යුගයන්හි විසූ නිශ්චිත ශාස්තෘවරුන් විසිනි. බුදුදහමෙහි නිර්මාතෘවරයාණන් වූ සිද්ධාර්ථ ගෞතමයෝ උතුරු ඉන්දියාවේ කපිලවස්තු නගරයේ ක්ෂත්‍රිය හෙවත් රණකාමී වංශයට අයත් ධනවත් රජෙක් වූ ශුද්ධෝදන රජතුමාට පුත්ව උපන් හ. සිද්ධාර්ථ කුමරු කුඩා අවදියේ පටන් ම දර්ශනවාදය සහ හින්දු ආගමේ මූලික කරුණු ඇතුළත් වේද සාහිත්‍ය කෙරෙහි උනන්දුවක් දැක් වූ හ. මූලික වශයෙන් උන්වහන්සේ පැවැත්මේ දුක්ඛිත භාවය පිලිබඳව සැලකිල්ලක් දැක් වූ හ. කෙසේ වුවත්, පසුකාලීන ව උන්වහන්සේ තුළ හින්දු ආගම කෙරෙහි තිබුණු උනන්දුව නැතිවී ගියේ ය. තමා අවට පැවති වේදනා සමුදාය කෙරෙහි කළ කිරුණ හ.

අවසානයේදී උන් වහන්සේ ලෞකික වේදනාවන්ගෙන් ශරීරය නොව ආධ්‍යාත්මය ගලවා ගැනීම සඳහා විකල්ප දර්ශනයක් සොයා ගැනීමට තීරණය කළ හ. වයස 29 වන විට එතුමන්ට අභිනිෂ්ක්‍රමණය කිරීමට සිත් පහළ වී සිය බිරිඳ දරුවා සහ අන් සියලු ලෞකික සැප හැරදා රජ මාලිගයෙන් පිට වී සත්‍ය ගවේශණය සඳහා නික්ම ගිය හ. ශාස්තෲවරයින් රාශියක් වෙත ගොස් ඔවුන් ගේ දර්ශනයන් අධ්‍යයනය කළ උන්වහන්සේ ශරීරයට දුක් දෙමින්, උපවාස කරමින් භාවනා කරමින් වසර ගණනාවක් ගත කළ හ. එ තුමන් ගේ අරමුණ වූයේ සියලු ලෞකික ආශාවන් නැති කර සම්පූර්ණ චිත්ත පාලනයක් ඇතිකර ගැනීම ය.

අවසානයේ තමා සොයමින් සිටි සත්‍ය අවබෝධ කර ගැනීමට උන්වහන්සේ සමත් වූයේ ක්‍රි. පූ. 528 වෙසක් දින රාත්‍රියේ බෝ රුකක් යට දී සියලු අවබෝධය ඇති ව බුද්ධත්වයට පත් වීමෙනි. එම මොහොතේ දී සැනෙකින් උන්වහන්සේ දුක නැති කරන මාර්ගය අවබෝධ කරගත් හ. හින්දු ආගමේ මූලික ධර්මය වූයේ පුනරුත්පත්තිය යි. ඒ අනුව ජීවත් වන සෑම ප්‍රාණියකු ම මරණයෙන් පසු වෙනත් ප්‍රාණියකු වශයෙන් උපත ලබ යි. මෙම චක්‍රය සදාකාලික ව, අඛණ්ඩ ව ක්‍රියාත්මක වෙයි. සත්වයකු ගේ ආත්මය කුඩා කෘමියකු ගේ සිට විශාල සිවුපාවකු හෝ මනුෂ්‍යයකු දක්වා කෙමෙන් පරිණාමය වෙයි. යම් මනුෂ්‍යයෙක් ජීවිත කාලය තුළ පව් කර ඇත් නම්, ඔහු නැවත උපදින්නේ පහත් ආත්ම භාවයක් ඇති ව ය. එ සේ පව් කර නොමැති නම්, වෙනත් පුද්ගලයකු වශයෙන් උපත ලබයි. මෙම පුනර්ජන්ම චක්‍රය අනන්ත ව ක්‍රියාත්මක වෙයි. එහෙත් බුදුන්වහන්සේ මෙම අඛණ්ඩ චක්‍රය බිඳ හෙලීමේ මාර්ගය සොයා ගත් හ. භාවනාවේ හා කැප වීමේ ධර්‍ම මාර්ගය තුළින් නැවත ඉපදීමක් නොමැති පරිපූර්ණ ‘නිර්වාණ’ තත්වයට පත්වීමට හැකි විය. මෙය ස්වර්ගය පිලිබඳ යුදෙව් - ක්‍රිස්තියානි සංකල්පයට වඩා වෙනස් විය.

බුද්ධත්වයෙන් පසු සිද්ධාර්ථ යන නම වෙනුවට සියලු දේ අවබෝධ කැර ගත් යන අදහස ඇති බුද්ධ යන නමින් හැඳින් වූ උන් වහන්සේ තම දර්ශනය ලෝ වැස්සන් අතරට රැගෙන ගිය හ. උන් වහන්සේ ගේ පරිනිර්වාණයෙන් පසු බුද්ධ ශ්‍රාවකයින් විසින් මුළු ආසියාව පුරා ම බුදුදහම ව්‍යාප්ත කරන ලදි. චීනය, ජපානය, බටහිර ආසියාව හා ඉන්දියාවේ විශාල සංඛ්‍යාවක් බුදුදහම වැළඳ ගත් හ. අද ලෝකයේ බෞද්ධයන් මිලියන 300 ක් පමණ වෙසෙන අතර ඉන් සියයට 99.5ක් ම සිටින්නේ ආසියාවේ ය.

Wednesday, February 15, 2012

තාඕ වාදය ලොවට දායාද කළ ලාඕ ත්සු - චීනය | ක්‍රි. පූ. 604-531

ලාඕ ත්සු 
චීනයේ ක්‍යු-ජින් යන ප්‍රදේශයේ උපත ලත් ලාඕ ත්සු හෙවත් ලාඕ ත්සේ, චෞ රාජ වංශයේ අධිරාජයන් යටතේ රාජ්‍ය ලේඛනාරක්ෂක නිලධාරියා වශයෙන් සේවය කළේ ය. ඔහු විසින්, Tao Te Ching යන කෘතිය රචනා කරන ලද්දේ මෙම කාලයේ දී ය. එය ඈත පෙරදිගින් බිහි වූ පැරණිතම මෙන් ම බලගතු දාර්ශනික කෘතියක් විය. ලෝකයේ පවත්නා ශ්‍රේෂ්ට ආගම් වලින් එකක් වන තාඕ වාදයට පදනම දැමුණේ මෙයිනි.

ලාඕ ත්සු සිය විශ්වාසයන් මෙම ග්‍රන්ථය තුළ මෙ සේ විස්තර කර යි. ලෝක ස්වභාවය රඳා පවතින්නේ කෙනකු සිය ජීවිත කාලය තුළ අනුගමනය කරන ‘මාර්ගය’ හෙවත් තාඕව (Tao) මත ය. එම මාර්ගයේ දී කෙනකු මනුෂ්‍යත්වයත් විශ්වයත් අතර පවතින සමබරතාවය හා විශ්වයේ ස්වභාවය තුළ පවතින එකිනෙකට ප්‍රතිවිරුද්ධ බලවේගයන් සහ මනුෂ්‍යත්වයේ ස්වභාවයත් අතර පවත්නා සමතුළනය අවබෝධ කර ගනී. මෙම ද්විභින්න භාවය සහ එහි සමබරතාවය ‘යින්’ (Yin) සහ ‘යැං’ (Yang) යනුවෙන් සාරාංශ කර දක්වා ඇත. යින් සහ යැං යන්නෙහි වාචික තේරුම හිරු එළිය වැටුණ කන්දක අඳුරු පැත්ත සහ ආලෝකය සහිත පැත්ත යන්න ය. නමුත් ඉන් සංකේතවත් කරන්නේ අඳුර සහ ආලෝකය, ස්ත්‍රී හා පුරුෂ, දුබල සහ ප්‍රබල, අහස සහ පොලොව, සුදු සහ කළු, හොඳ නරක වැනි ප්‍රතිවිරුද්ධ මූලයන් අතර පවත්නා සමතුළිත භාවය යි.

ලාඕ ත්සු ගේ  Tao Te Ching  කෘතිය
ලාඕ ත්සු විග්‍රහ කරන අන්දමට තාඕ හෙවත් ‘මාර්ගය’ අනුගමනය කිරීමෙන් කෙනෙක් ‘බලවේගය’ යනුවෙන් දළ වශයෙන් පරිවර්තනය කළ හැකි ‘ටේ’ (Te) ක්‍රියාවට නඟයි. ‘ටේ’ හෙවත් බලවේගය ද යින් සහ යැං යන ද්විභින්න භාවයට යටත් වන අතර එ මඟින් අනුරූප විපාක ගෙන දෙන හොඳ හා නරක බලවේග වශයෙන් කොටස් දෙකකට වෙන් වේ. ‘ටේ’ යන්න හින්දු නොහොත් බෞද්ධ ආගම් වල දැක්වෙන කර්ම වාදයට හෝ ක්‍රිස්තියානි ආගමේ පාපය යන අදහසට සමාන ය. හින්දු ආගමට අනුව කෙනකුට යහපත් විපාක ලැබෙන්නේ ඔහු ගේ මරණයෙන් පසු පුනරුත්පත්ති චක්‍රයක් ඔස්සේ සිදු වන දෙව්ලොව උපත ලැබීම තුළිනි. 

 යින් සහ යැං සංකේතය

එසේ වුව ද තාඕ වාදයේ දී කෙනකු යම් ක්‍රියාවක් කරන විට, ඒ මොහොතේ ම හෝ ඊට බොහෝ ආසන්නයේ දී ඊට සමාන ප්‍රමාණයකින් ප්‍රති ක්‍රියාවක් සිදු වේ (භෞතික විද්‍යාවේ සර් අයිසෙක් නිව්ටන් ගේ චලිතය පිලිබඳ තුන් වන නියමයට සමාන අයුරින්). ලාඕ ත්සු එතුමන් ජීවත් ව සිටි කාලයේ දී මහත් ගෞරවාදරයට පාත්‍ර වූ අතර පසු පරම්පරාවන් හි බිහි වූ දේවධර්මවාදීන්ට මහත් ආභාසයක් ද වූයේ ය.

Thursday, February 9, 2012

හෝමර් (ගී‍්‍රසිය - කි‍්‍ර. පූ. 850)

හෝමර්
හෝමර් කි‍්‍ර. පූ. 9 වන සියවසේ ගී‍්‍රසියේ විසූ අන්ධ කවියකු විය. ඔහු මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ සදා නොනැසෙන මහා වීර කාව්‍ය දෙකක් නිර්මාණය කළේ ය. මේ හැරුණු විට ඔහු පිලිබඳව වෙනත් තොරතුරු වැඩි යමක් දැනගන්නට නැත. ඔහු සමහරවිට සංචාරක කවියකු විය හැක. සමහර විට ගී‍්‍රක නගර රාජ්‍යයක රාජ සභාවේ කථකයකු වූවා විය හැක. හෝමර් ගේ යනු ඔහු ගේ නමට බැර වූ කෘතීන් විස්තර කිරීමට නිර්මාණය කරන ලද මනඃකල්පිත චරිතයක් ය යන්න පවා ඇතැමෙක් විශ්වාස කරති.

හෝමර් ජීවත් වූවා යැයි විශ්වාස කැරෙන ශත වර්ශයේ මහා වීර කාව්‍යයන් දෙකක් බිහි විය. ගී‍්‍රක සාහිත්‍යයේ බිහි වූ එය ඉලියඩ් සහ ඔඩිසි යන කාව්‍යද්වය යි. ට්‍රෝජන් යුද්ධය පසුබිම් කර ගෙන නිර්මාණය කරන ලද මෙම කාව්‍යයන් විශිෂ්ට සාහිත්‍ය කෘතීන් වශයෙන් ශත වර්ෂ ගණනාවක් තිස්සේ තවමත් නොනැසී පැවතීමට තරම් බල සම්පන්න විය. ඉලියඩ් කාව්‍යයෙන් කියවෙනුයේ පැහැරගත් ට්‍රෝජන් කාන්තාවක් වන බ‍්‍රයිසියස් සම්බන්ධයෙන් ඇචිලිස් ඔහු ගේ අණදෙන නිලධාරි ආගමෙනන් සමග ඇතිකර ගත් දබරය යි. ඇචිලිස් ට්‍රෝජන් වරුන් හා යුද්ධ කිරීම ප‍්‍රතික්‍ෂෙප කළ ද, ඔහු ගේ මිතුරා වන පැට්‍රෝකලස්, ට්‍රෝජන් ජනරාල් වරයකු වන හෙක්ටර් විසින් මරා දමනු ලැබූ විට, සිය මිතුරා මරා දැමූ පලිය ගැනීමට ඔහු ට්‍රෝජන් වරුන් හා යුද වැදුණේ ය.

හෝමර් සිය කාව්‍යයන් ගායනා කරමින්
ඔඩිසි කථාන්තරය පදනම් වී ඇත්තේ ඔඩිසියස් විසින් දස වසක් මුළුල්ලේ කරන ලද සංචාරය හා ඔහුට මුහුණ පෑමට සිදු වූ විශාල යෝධයන්, රාක්ෂයන් හා මායාකාරියන් පිලිබඳව ය. ඔහු ආපසු සියරට වන ඉතාකා දේශයට පැමිණි විට දක්නට ලැබෙන්නේ ඇතැමුන් සිය බිරිඳ වැන්දඹුවක් බවට පත් ව ඇතැයි ඇයට ඒත්තු ගන්වමින් ඇය ගේ සිත දිනා ගැනීමට උත්සාහ කරමින් සිටින අයුරු යි. ඔවුන් පලවා හැරීමට ඔහුට සිදු විය. අවසානයේ දී ඔඩිසියස් ඉතාකා දේශයේ සිහසුන ද දිනා ගෙන පෙනිලෝප් හා යළි එක් වෙයි.

හෝමර් විසින් රචනා කරන ලදැයි කියැවෙන තවත් කෘති ඇතත්, ඔහු පිළිබඳ සැබෑ උරුමය රඳා පවතින්නේ ඉලියඩ් හා ඔඩිසිස් කාව්‍යයන් ගෙන් ආභාසය ලැබ ලෝක සාහිත්‍යයට එක් වූ ගිණිය නොහැකි තරම් නිර්මාණයන් සහ ඔහු විසින් නිර්මාණය කරන ලද අපූර්ව චරිත හා මිථ්‍යා ප‍්‍රබන්ධයන් තුළ ය.
 
ඔඩිසි සිතුවමට නැඟුණු අවස්ථාවක්


Tuesday, February 7, 2012

මෝසෙස් (ඊශ‍්‍රායලය - කි‍්‍ර. පූ. 1300-1220)

මෝසෙස් දස පනත සමඟ
කි‍්‍ර. පූ. 13වන ශත වර්ෂයේ දී ඊජිප්තුවේ වාසය කළ හීබ‍්‍රෑ ජනයා අති මහත් රාජ්‍ය වධ බන්ධනයන්ට භාජනය වූ හ. එක් අවස්ථාවක දී පිරිමි හීබ‍්‍රෑ දරුවන් සියලු දෙනා ම මරා දමන ලෙස පාරාවෝ රජු නියෝග කළේ ය. මෝසෙස්ගේ මව හීබ‍්‍රෑ දරුවකු වූ සිය පුත‍්‍රයා ගේ දිවි රැක ගැන්මේ අරමුණින් ඔහු වේවැල් කූඩයක බහා නයිල් නදියේ පා කර හැරියා ය. ඈ බලාපොරොත්තු වූ ලෙසට ම, දරුවා පාරාවෝ රජු ගේ දියණිය විසින් බේරා ගනු ලැබ රාජකීය මාළිගයේ ඇති දැඩි වූයේ ය. තරුණ වියට පත් මෝසෙස් සිය ජනතාව ගේ විමුක්තිය සඳහා අවසර ඉල්ලූ අතර අවසානයේ ඒ සඳහා පාරාවෝ රැම්සේ රජුගේ (කි‍්‍ර. පූ. 1292-1225) අවසරය අකමැත්තෙන් හෝ ලැබිණ. හීබ‍්‍රෑ ජනතාව ඊජිප්තුවෙන් පිට මං කර ගත් මෝසෙස් සිනායි හි තැනින් තැන ඇවිද යමින් අවසන සිය සාම්ප‍්‍රදායික නිජ භූමිය වූ වර්තමාන ඊශ‍්‍රායලයට පැමිණියේ ය. මේ සඳහා ඔවුන්ට අවුරුදු 40 ක් පමණ ගත වී යැයි කියනු ලැබේ.

කි‍්‍ර. පූ. 1250 දී පමණ සිනායි කන්දේ ඉහළ බෑවුමේ පිළිස්සෙන පඳුරක් වශයෙන් පහළ වූ දෙවියන් වහන්සේ, මෝසෙස් වෙත ගල් ලෑලි දෙකක් දුන් හ. එහි අඩංගු වූයේ දසපනත නමින් හැඳින්වෙන නීති මාලාව යි. මෝසෙස් මෙය ජනතාව වෙත රැගෙන ගිය අතර මෙය යුදෙව් වාදයේ මූලික ආචාර ධර්‍ම පද්ධතිය වශයෙන් සළකා අනුගමනය කරනු ලැබිණ. කි‍්‍රස්තියානි ආගම විසින් මෙම දස පනත පසු කාලීන ව සිය ආගමට ඇතුළු කර ගන්නා ලදි. එය අද බිලියන 1. 6 ක් පමණ වූ ජනතාව ගේ මූලික විශ්වාසයන් අතරට එක් වී ඇත.

පාරාවෝ දියණිය මෝසෙස් බේරා ගැනීම
මෙසපොතේමියාව, ඊජිප්තුව, ඉන්දියාව, ගී‍්‍රසිය, හා පසුකාලීන ව රෝමය වැනි රටවල පැවැති පුරාණ ආගම් බොහොමයක් බහු දේවවාදී විය. මෙම ආගම්වල බැතිමත්හු සූර්ය දෙවියන්, චන්ද්‍ර දෙවියන් ආදී වශයෙන් දෙවිවරු විශාල සංඛ්‍යාවක් ඇදැහූ හ. කෙ සේ වුවත් ඊශ‍්‍රායලයේ ගෝත‍්‍ර 12 කින් සමන්විත හීබ‍්‍රෑ වරුන් ජෙහෝවා නමින් හඳුන්වන ලද එක් දෙවියකු පමණක් විශ්වාස කළ හ.
ආරම්භයේ දී මෙම ඒක දේව වාදය විශ්වාස කළේ ඉතාමත් සුළු පිරිසකි. එහෙත් අද එය ලොව පුරා විසිරී ඇති ආගමික බැතිමතුන්ගෙන් අඩකටත් වඩා වැඩි පිරිසකගේ මූලික ඇදැහීම වී ඇත.

ඊජිප්තුවෙන් පිටව යාමට පෙර

Sunday, February 5, 2012

හමුරාබි (බැබිලෝනියාව - කි‍්‍ර. පූ. 1792-1750)

හමුරාබි 
හමුරාබි පළමු බැබිලෝනියානු රජ පෙළපතේ 6 වන රජුය. ඔහු බයිබලයේ (උත්පත්ති කථා 14.1) සඳහන් වන ෂිනෝරයේ රජු වූ අම්රාෆෙල් වීමට ද ඉඩ ඇත. මේනස් වසර දහසකට පමණ පෙර ඊජිප්තුව එක් සේසත් කළාක් මෙන්, ඔහු තම හමුදාව මෙහෙයවා අක්කාඞ්, එලම්, ලර්සා, මාරි, සහ සුමර් පරදවා බැබිලෝනියානු අධිරාජ්‍යය පිහිටුවී ය.

කෙතරම් යුද විජයග‍්‍රහණයන් ලැබූව ද, ලෝකයේ ප‍්‍රථම නීති සංග‍්‍රහය ඔහු අතින් බිහි නො වන්නට, ඔහුගේ නම ද බල සම්පන්න රණ ශූරයකු වශයෙන් පමණක් පැවත කාලයේ වැලි තලාවෙන් වැසී යාමට ඉඩ තිබිණ.

සිය රාජ්‍යය යුක්ති ගරුක හා විනය ගරුක පාලනයකට යටත් කළ ශ්‍රේෂ්ට රාජ්‍ය පාලකයකු වශයෙන් ප‍්‍රචලිත වූව ද, ගරු බුහුමන් කරනු ලැබුව ද, ඔහු ගේ නීති සංග‍්‍රහය ක‍්‍රි. ව. 1901 වන තුරු ම මතකයෙන් ඈත් වී ගිය ජන ශ‍්‍රැතියකට වඩා වැඩි යමක් ලෙස සලකනු ලැබූයේ නැත. එම වසරේ දී ප‍්‍රංශ පුරා විද්‍යාඥයෝ පුරාණ බැබිලෝනියානු නටබුන් අතරින් දැවැන්ත ගල්ලෑල්ලක කීලාකාර අක්‍ෂර වලින් කොටා තිබූ හමුරාබි ගේ නීති සංග‍්‍රහය, සොයා ගත් හ.

මෙහි නීති 282 ක් දක්නට ලැබුණු අතර තවත් 35 ක් කැඞී බිඳී මැකී ගිය බවක් දක්නට ලැබිණ. එක් එක් අපරාධ හා ඒවාට දිය යුතු දඬුවම් එහි දක්වා තිබිණි. උදාහරණ වශයෙන් යම් අයකුට තම ඉඩමේ වැටියක් අලුත්වැඩියා කිරීමට නොහැකි වීමේ හේතුවෙන් අසල් වැසියකු ගේ ඉඩමක් ගං වතුරෙන් යට වී හානි සිදු වූවහොත් ඒ සඳහා ඔහු වන්දි ගෙවිය යුතු විය. අනවසරයෙන් තැබෑරුමකට ඇතුළු වන පූජකවරියක පණ පිටින් පුලුස්සා මරා දැමිය හැකි විය. වැන්දඹුවකට සිය මිය ගිය සැමියා ගේ දේපලින් තම පුත‍්‍රයාට ලැබෙන කොටසට සමාන කොටසක් හිමි විය යුතු විය. ශල්‍ය කර්‍මයක් අතරතුර දී රෝගියකු මිය ගිය හොත් වෛද්‍යවරයා ගේ අතක් කපා දැමීම දඬුවම විය. සිය බිරිය හෝ දරුවකු ණය හිමියාට වර්ෂ තුනකට ලබා දීමෙන් ණය ගැතියකුට තම ණයෙන් නිදහස් විය හැකි විය.

හමුරාබි ගේ නීති සංග‍්‍රහය
මෙම නීති සංග‍්‍රහය හුදු නීති මාලාවකට වඩා ඔබ්බට ගොස් රාජ්‍යයේ ව්‍යුහය පිළිබඳව ද නියමයන් දක්වා ලී ය. එ සේ ම රජතුමා ප‍්‍රධාන පූජකයා ද වීම නිසා නීති සංග‍්‍රහය මඟින් බැබිලෝනියානු ආගමික ජීවිතය ද පාලනය විය. රජු ගේ රුචි අරුචි කම් අනුව ඒ ඒ අවස්ථාවේ දී නීති පනවනවාට වඩා ප‍්‍රථම වරට, කා හටත් බලා ගත හැකි වන පරිදි නීති සංග‍්‍රහයක් ප‍්‍රසිද්ධියට පත් කරන ලද අතර එය ක‍්‍රමානුකූල ව ලේඛන ගත කොට ව්‍යවස්ථා මාලාවක් වශයෙන් සකස් කරන ලදි. එම අර්ථයෙන් බලන විට හමුරාබි ගේ නීති සංග‍්‍රහය වර්තමානයේ කි‍්‍රයාත්මක වන නීති පද්ධතීන්ට පදනම දැමූ පූර්වාදර්ශයක් විය.

පාරාවෝ මේනස් (ඊජිප්තුව - ක‍්‍රි. පූ. 3100)

පාරාවෝ මේනස්
ලෝක ඉතිහාසයේ පළමු අධිරාජයා ද, ‍ඓතිහාසික එක්සත් ඊජිප්තුවේ ආදිකර්‍තෘ වරයා ද, එහි ප්‍රථම රාජ වංශයේ ප්‍රථම නරේන්ද්‍රයා ද ලෙස සැලකෙන්නේ  පාරාවෝ මේනස් ය. ඉතිහාසය හැඩ ගැස්වීමේ ලා හැකියාවක් ඇති පුද්ගලයකු ගේ බිහි වීම, එවැන්නක් සිදු විය හැකි පසුතලයක පරිණාමය මත රඳා පවතී. යමකුට එවැනි චරිතයක් රඟපෑම සඳහා කිසි යම් වේදිකාවක් තිබිය යුතු ය. ඒ අනුව මේනස් රඟ පෑ වේදිකාව වූයේ අද ඊජිප්තුව නමින් හඳුන්වනු ලබන නයිල් නදියේ සාරවත් පහළ කොටස යි.

මනුෂ්‍ය සමාජය කුඩා රංචු වල සිට ගෝත‍්‍ර දක්වා ද, ඉන් පසු ව ස්වයං පාලනය සහිත ඒකකයන් වූ මහා නගර දක්වා ද, විකාශනය විය. වඩා බලවත් වූ මහා නගර වල බලපෑම තවත් පුළුල් වී කෙමෙන් අවට පිහිටි ගම්බිම් ද අත් පත් කර ගනු ලැබිණ. කි‍්‍ර. පූ. 3300 වන විට, නයිල් නදිය අවට පිහිටා තිබුණු නගර එකතු වී ඉහළ ඊජිප්තුව (සුදු කිරුළ) සහ පහළ ඊජිප්තුව (රතු කිරුළ) නමින් රාජධානි දෙකක් බිහි වී තිබිණ. කි‍්‍ර. පූ. 3100 දී පහළ ඊජිප්තුවේ රතු කිරුළ පැළැඳි මේනස් රජු මෙම රාජ්‍ය දෙක එක් සේසත් කළ අතර එය ලොව බිහි වූ පළමු අධිරාජ්‍යය බවට පත් විය.

මේනස්, ලොව එතෙක් නොපැවති අන්දමේ දේශපාලන ඒකකයක් බිහි කළේ ය. සමාජයේ කුඩා ඒකකයන් එකට එක් වී වඩාත් සංවිධානය වූ විශාල ඒකකයන් බවට පත් වීමේ ක‍්‍රියාවලිය වසර දහස් ගණනක් තිස්සේ පැවැතියත්, මේනස් විසින් ගොඩ නඟනු ලැබූ එක්සත් ඊජිප්තුව අති සුවිශේෂ ඒකකයක් විය. ඊජිප්තුව තව දුරටත් කොටස් එකතු වීමෙන් සැදුම් ලත් රාජ්‍යයක් පමණක් නො වී ය. එකම හිසක් මත පැළඳි රතු කිරුළක් හා සුදු කිරුළක් පමණක් නො වී ය. මෙම කොටස් දෙක එකට එකතු වී සීමා බන්ධනයන්ගෙන් තොර තනි රාජධානියක් හෙවත් ලොව බිහි වූ ප‍්‍රථම අධිරාජ්‍යය බවට පත් විය. එය ඉතිහාසයේ ප‍්‍රථම වරට සිදු වූ පුළුල් පදනමක් සහිත සමාජ ආර්ථික ක‍්‍රමයකට මඟ හෙළි කරන දේශපාලන ඒකකයක බිහි වීම යි.

මෙය ලොව වෙනත් තැනෙක ද සිදුවන්නට ඉඩ තිබිණි. එහෙත් අවසන එය සිදු වූයේ ඊජිප්තුවේ ය. එහි ප‍්‍රථිපලයක් වශයෙන් ඉදිරි ශත වර්ෂ ගණනාවක් ගත වන තුරු ඊජිප්තුව ලොව අග‍්‍ර රාජධානිය බවට පත් විය. මේනස් අනාගතයේ සිදුවන දේ දැන සිටියේ ද යන්න අප නො දනිතත් දේශපාලන නායකයකු වශයෙන් ඔහු ගේ තීක්ෂ්ණ භාවය ගැන ඔහු ගේ අධිරාජ්‍යයේ දීර්‍ඝ පැවැත්ම දෙස් දෙයි. ඔහු ඇබිඩෝස් අසළ වූ පැරණි තිනිස් නගරයේ සිට සිය පාලනය මෙහෙය වූ අතර ඔහු ගේ රාජ්‍ය කාලය තුළ දී ලොව ප‍්‍රථම වරට හීරෝග්ලිපික් හෝඩිය භාවිතයට ගන්නා ලද බවක් විශ්වාස කෙරේ.

හීරෝග්ලිපික් අක්ෂර
මේනස් හා ඔහු ගේ අනුප‍්‍රාප්තිකයින් ගේ වසර 2500ක් පමණ දීර්‍ඝ වූ රාජ්‍ය පාලනය යටතේ ඊජිප්තුව තුළ එතෙක් ලොව නොපැවති තරමේ සංකීර්ණ සංස්කෘතියක් වර්ධනය විය. එකිනෙකට වෙන් වූ නගර තව දුරටත් සියල්ලෙන් ස්වයංපෝෂිත වීම අත්‍යාවශ්‍ය නො වී ය. ඒ නගර සියල්ල එකිනෙක මත යැපෙන සහජීවනයකින් යුතු විය. මෙම සමාජය මධ්‍යයේ දේශපාලනික මෙන් ම ආගමික වශයෙන් ද පාරාවෝ වරු අති මහත් ධනයක් හා බලයක් වර්ධනය කර ගත් හ. පාරාවෝ සාමාන්‍ය රජ කෙනකුට වඩා ඉහළින් සැලකුණ අතර ක‍්‍රමයෙන් ඔහු දෙවියකු වශයෙන් වන්දනාමාන කරන තත්වයකට පත් විය. දැවැන්ත නගර සහ මහා පරිමාණයේ ඉංජිනේරුමය ව්‍යාපෘති බිහි විය.

පාරාවෝ වරුන් ගේ අධිරාජ්‍යය පසුකාලීන ව බිඳ වැටී වෙනත් නව අධිරාජ්‍යයන් විසින් යටපත් කරනු ලැබී ය. කෙ සේ වෙතත් පාරාවෝ වරුන් පිළිබඳ උරුමය, විද්‍යාවේ සිට ගෘහ නිර්මාණ ශිල්පය දක්වා විහිදෙන මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ වැදගත් ම සන්ධිස්ථානයක් ලෙස තවමත් සිහි කරනු ලබයි, ගරු කරනු ලබයි.

About

BTemplates.com